Saturday, December 26, 2009

සුනාමියට පස් වසරයි.


අදින් වසර පහකට පෙර සුනාමියෙන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ විනාශ වෙලා ගියා. ඒක නපුරැ හීනයක් වගේ. මම සුනාමියට සෘජුවම හසු නොවුනත් එහි භයංකර බව අත්වින්දා. අද උදේ 9.25 ට මුළු ලංකාවම විනාඩි දෙකක් නිශ්ශබ්දව සිටිමින් සුනාමිය නැවත සිහිපත් කළා. ඒ වෙලාවේ මම හිටියේ ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට.
එදා සුනාමියට බිමට සමතලා වුණ බස්නැවතුම් පොළ අවුරැදු පහක් ගිහිල්ලවත් හදන්න අපේ නායකයන්ට හැකියාවක් ලැබුණෙ නැහැ.
බස් නැවතුම්පොළ හදනවා කියල පුරසාරම් දොඩපු එක්තරා ඇමතිවරයෙක් සුනාමියේ අවුරැදු පහ සමරන වෙලාවේ ගාල්ල සමනළ ක්‍රීඩාංගණේ සැණකෙළික් සූදානම් කරලා. ගාලු සමය කියල ඒකට කිව්වට අපිනම් කියන්නේ ගාලු සමයම කියලා. සුනාමියෙන් මියගියපු අය සමරන්න සිදුවූ විනාශය සමරන්න කරන සැණකෙළියක්.
ඒ සම්බන්ධයෙන් අද අපූරැ වැඩක් වුණා. මේ ඇමතිවරයා කවදාවත් ගාල්ලේ ඉන්න මාධ්‍යවේදීන්ට තමන්ගේ වැඩ කිසිවක් කියන්නේ නැහ. වලව්වට අනිත් අය ගැලපෙන්නේ නැති නිසා වෙන්න ඇති. එත් අද සුනාමි නිසා කොළඹින් ලොකු ලොකු මාධ්‍යවේදීන් ගෙන්නව ගන්න බැරැව ඊයේ රාත්‍රී අපේ අයට දුරකථනයෙන් දැනුම් දීලා. ඒ කියල තියෙන්නෙත් තෝරාගත්තු කිහිප දෙනෙකුට විතරයි.
අපි සාමූහික තීරණයකට එළඹුනා. කිසිම මාධ්‍යවේදියෙක් ගාලු සමයමට ගියේ නැහැ. කවුරැ හරි ගියානම් ඒ ඉතින් ......................................... අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
සුනාමියට පස් වසරක් සම්පූර්ණ වුණු වෙලාවේ ගාල්ල නගරය නිශ්ශබ්ද වුණු හැටි දැක්වෙන ඡායාරෑපයක් තමයි මේකේ පල කළේ.

Friday, December 25, 2009

ජනරාල්ට විරෝධයක්


අද හරිම මහන්සි දවසක්. සුනාමි සංවත්සර දිනය හෙටට යෙදී තිබෙන නිසා පත්තරේට ඒකට අදාලව ලිපි කිහිපයක්ම ලිව්වා. ගාල්ල සුනාමියෙන් විනාශ වුනේ අපේ ඇස් පනා පිටම. ඒත් අපේ දේශපාලකයන්ට සුනාමියට වැනසීගියපු ගාල්ල නගරය හදාගන්න තාමත් බැරිවුනා. ලිපිය ලියනකොට තමයි මේ ගැන ඇත්තටම දුක හිතුනේ. මොනව කරන්නද ?
මහ දවාලේ තවත් වැඩක් තිබුණා. ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට විරෝධතාවක්. ප්‍රදේශයේ දේශපාලන බලවතෙක් මෙය සංවිධානය කළේ. හේතුව ජනරාල් සරත් පොන්සේකා කළායැයි කියන ප්‍රකාශය. ජනරාල් එවැනි ප්‍රකාශයක් නොකළ බව කියාසිටියා. තමන් ජනරාල්ගේ ප්‍රකාශය පුවත් පතේ සටහන් කළේ වැරදීමකින් බවත් එය කරැණු තෝරාබේරා ගැනීමකින් තොරව සිදුවූවක් බවත් සන්ඩේ ලීඩර් පුවත් පත පසුව තම මුල්පිටුවේම සටහන් කර තිබුණා. නමුත් ආණ්ඩුව දැන් ඒක කියන්නේ නැහැ. වෙනදා රජය කැලෑ පත්තරයක් යැයි කියපු සන්ඩේ ලිඩර් පත්තරේ තිබුණු කතාවක් උපුටා ගනිමින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා යස අපූරුවට.
ඒත් අපිට ආරංචි විදියටනම් ඒ පත්තරේ නිවැරදි කිරීම ජාත්‍යන්තරයට පෙන්වා දීල තියෙන්නේ මේ ආණ්ඩුවමයි. රටේ මිනිස්සුන්ට කියන්නේ වෙන කතාවක්. මේක තනිකර දේශපාලන බංකොලොත්බව කියලයි මට හිතෙන්නේ.
රෝහලක් ලග වාහනයක නලාව නාදකිරීමත් තහනම් නමුත් මේ අය ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන උද්ඝෝෂණය කළා. සංවිධානය කරපු අයනම් කිව්වේ දහසක් විතර මේකට ඇවිත් හිටියා කියලා. නමුත් මම සියළුම දෙනාව ගණන් කළා. පැමිණ සිටියේ හරියටම 186 යි. එයින් 20 ක් විතර සංවිධායකයෝ. තවත් 15ක් විතර ප්‍රාදේශීය දේශපලාකයෝ. ඉතින් හිතාගන්න පුළුවන්නේ.
මේක මහ විහිළුවක්
මගේ ඡන්දය දෙන්නේ කාටද කියලා නැවත නැවතත් සිතා බැලිය යුතුයැයි මම තීරණය කළා.

Wednesday, December 9, 2009

යුද්දෙට ගිය සෙබළා

මට හදිසියේම වැලි ඔය යන්න අවස්ථාවක් ලැබුණා. මම හිතුවෙ මේ ගමන අවසර ඇතිව යන ගමනක් කියලා. නමුත් අපිට නිසි අවසරයක් තිබුණෙ නැහැ. ඒ නිසා ගියපු වැඩේ අතරමග දාලා නැවත ආපසු එන්න සිද්ද වුනා. මේ එද්දී අපූරැ සෙබළෙක් හමුවුණා.
මම ඔහු ගැන සටහනක් තැබිය යුතුමයි. ඔහු ශ්‍රී ලංකා හමුදාවේ එක් සෙබළෙක් පමණක් වුවත් යුද්ධයට මුහුණ දීපු සමස්ථ සෙබළුන්ගේ කථාන්තරයෙන් කොටසක් ඔහු මා සමග කියා සිටියා.
මට ඔහු හමුවන විට ඔහු සිටියේ ඉතාමත්ම සතුටින්. මාත් එක්ක ඔහු කථාවට වැටුණා. මම ඇහුවා ගම් පළාත කොහේද කියලා. අනුරාධපුරයේ දුෂ්කර ගම්මානයක්. නමුත් තවත් දවස් පහකින් ඔහුගේ පදිංචිය වැලි ඔයලු. මම ඇහුවා ඇයි කියලා. ඔහු කියපු කථාවට මට ඇඩුණේ නැහැ. ඒත් ඒක අඩන්න හිතෙන කථාවක්.
මම ඔහුගේම වචන වලින් කියන්නම්.
මම දැන් හමුදාවට බැදිලා අවුරැදු අටක් වෙනවා. මේ අවුරැදු අටෙන් වැඩිම කාලයක් හිටියේ යුද බිමේ. මම යාළු වෙලා කසාද බැන්දා. වතාවක් මම තුවාල වුනා. මට වෙඩි වැදෙන කොට මගේ නෝනට ළමයෙක් ලැබෙන්න හිටියා. එයා ගොඩක් බය වුනා. මට සිහිය එන කොට එයා මගේ ලග හිටියා. ඒත් එයාගේ හිතට ආපු බය නිසාම එයා ලෙඩෙක් වෙලා. සැරින් සැරේට බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. අන්තිමේද මගේ පුතා මන්ද මානසික ලමයෙක් වුනා. දොස්තරලා කිහිපදෙනෙකුටම පෙන්නුවා. හැමෝම කිව්වේ නෝනා ගොඩක් බය වෙච්ච නිසා එහෙම වෙන්න ඇති කියලා.
මම ආපහු යුද්දෙට ගියා. ඒ ළමය ලොකු වෙද්දී අපිට දෙවැනි දරැවා ලැබුණා. එයා හොදින් ඉන්නවා. ඒත් නෝනා යුද්දෙට හරිම බයයි. එයා නිතර නිතර ලෙඩ වෙන්න ගත්තා. දැන් දොස්තරල කියනවා එයාට සැරින් සැරේට පිස්සු හැදෙනවා කියලා.
මම මාස ගාණක් යුද්ධ කරද්දී එයා දරැ‍වො දෙන්නා එක්ක ගෙදර තනියම. දැන් යුද්දෙ ඉවර නිසා මම මේ පැත්තේ පොඩි ගෙයක් කුලියට ගත්තා. දැන් මට මගේ නෝනයි දරැවො දෙන්නයි මෙහේ එක්කගෙන එන්න පුළුවන්.
මට මුළින්ම වෙඩි වැදුණු වෙලාවේ මම හමුදාවෙන් ඉල්ලුවා මට ගෙවල් පැත්තට මාරැවක් දෙන්න කියලා. ඊට පස්සේ නෝනා ලෙඩ වුනාම මාරැවක් ඉල්ලුවා. ඒත් ඒ කිසිම ඉල්ලීමක් පලක් වුනේ නැහැ. මේක අපි ලබා උපන් හැටි වෙන්න ඇති.
අපි දුප්පත් කම නිසා හමුදාවට ආවේ. ඒත් යුද්දෙ කරන කොටනම් රට වෙනුවෙන් මැරෙන්න වුනත් සූදානමින් හිටියේ. අන්තිමේදී අපිට ඉතිරිවෙන්නේ දුක විතරයි.

මම මේ ගැන මගේ අදහස් කිසිවක් නොකියමි. අදහස් ප්‍රකාශ කිරීම ඔබට භාරයි.

Saturday, October 3, 2009

මැතිවරණ නිරීක්ෂකයන්ගේ මහා බොරැව


මැතිවරණ සමයේ ඡන්ද නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපි දැඩි සේ විරෝධතාව ප්‍රකාශ කරන්නෙමු. මේ සදහා පසුගියදා එක්තරා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ කොළඹදීය. එහි ගිය මාධ්‍යවේදීන්ට මෙහි දැක්වෙන ඡායාරෑපය ද ලැබුණි. එම ඡායාරූපය පෙන්වමින් එම සංවිධානයේ ලොක්කෙක් කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වරයා සහ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා තමන්ගේ කාර්යාලය ඉදිරිපිට වැටෙහි අපේක්ෂකයන්ගේ ඡායාරූප එල්ලාගෙන මැතිවරණ කටයුතු කරන බවයි. මෙය දැඩි චෝදනාවකි. එසේ කරනවානම් ඔවුන්ට නිසි දඩුවම් දිය යුතුය. ඒ නිසා මෙය කොළඹ දී සාකච්ඡාවට සහභාගිවූ මාධ්‍යවේදීනට අපූරු පුවතක් විය.
මම ගාල්ලේ උපන්නෙමි. ජීවත් වන්නේද ගාල්ලේය. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන බැවින් දිනපතා ගාල්ල නගරයට පැමිණෙන අතර බොහෝ අවස්ථා වලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලට අසළින් ගමන් කරන්නෙමි. මම දිනපතාම මේ ගොඩනැගිල්ල දකින්නෙක්මි.
මේ ඡායාරූපය බැලූ බැල්මට පෙනෙන්නේ අර මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ලොක්කා කී කතාව සත්‍යයක් බවයි. නමුත් හොදින් බලන්න. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඡායාරූපයක් ඇත. එහි බිත්තියේ වර්ණය රෝස පැහැයෙන් පෙනේ. ඒ ඉදිරිපිට වැටක් ද තිබේ. ඒ වැටෙහි ඇති කණු කළු ගලින් නිර්මිතයි නේද ?
දෙවැනි ඡායාරූපය බලන්න. හොදින් බලන්න එහි ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙන් වැටක් තිබේ. නමුත් පසුපසින් පෙනෙන ගොඩනැගිල්ලේ කොටස සුදු පැහැතියි නේද ? දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති රෝස පාට බිත්තිය මෙහි සුදු පැහැය ගත්තේ කෙසේද ?
දෙවැනි ගැටළුවනම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැටෙහි තැන තැන ඇති තාප්ප කොටස කළු ගලින් නිර්මාණය වී තිබීමයි. නමුත් පුවරැව සහිත ස්ථානයේ වැටෙහි ඇති කණු කහ පැහැති තීන්ත ආලේප කර ඇත. කළු ගලින් නිර්මාණය කළ තාප්පය කහ පැහැති වූයේ කෙසේද ?
මෙයට පිළිතුරු ඔබට නැතුවා විය හැකියි. නමුත් එයට පිළිතුර මා සතුව තිබේ.
ගාල්ල ගැන නොදන්නා අයට මෙය අරුමයක් වුවද අපට එය අරුමයක් නොවේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ල පෙන්නා මේ මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වන පුවරුවේ ඡායාරූපය ගෙන ඇත්තේ ගාල්ල ජාත්‍යන්ත ක්‍රික‍ට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉදිරිපිටදීය. මේ එතැන සවිකර තිබූ මැතිවරණ ප්‍රචාරක පුවරැවකි.
නමුත් මේ ඊනියා මැතිවරණ නිරීක්ෂකයෝ මාධ්‍යවේදීන් ද නොමග යවමින් පවසන කරුණු කොතරම් බරපතලද ? මොවුන් ට දිය යුතු දඩුවම කුමක් ද ?
නමුත් එකක් නම් කිව යුතුව ඇත. දකුණේ ඡන්දය එකම පක්ෂයේ අය පවා මරා ගන්නා අන්ත දූෂිත මැතිවරණයක් බවට පත්ව තිබේ.......................................

Wednesday, August 12, 2009

දෙවැනි බුදුන් අමතක කර වැනසීම


අපි හැමෝම අපේ රටට දෙවැනි බුදුන් හැටියට සලකන්නේ මිහිදු හිමියන්. මිහිදු හිමියන් වැඩ වාසය කරපු තැන් අදත් අපේ අය වන්දනාමාන කරන්නේ මහත් භක්තියකින්. ඒ අතරින් මිහින්තලය පූජා භූමිය ප්‍රධාන වෙනවා. මිහින්තලේ මිහිදු ගුහාව කියන්නේ මිහිදු හිමියන් මෙරටට වැඩම කරලා වැඩ වාසය කරපු ගල්ලෙනක්. එය ඉතාමත්ම කුඩා ස්ථායනයක් වුනත් අපූරු සුන්දර තැනක්. එතැන ගලේම ‍සකස් කරපු සයනයක් තිබෙනවා. එය අවුරැදු දහස් ගණනක් පැවැතියා. නමුත් පසුගිය දිනක එතැනට ගියපු නිදන් හොරු මේ ගල් සයනයේ වටේට තිබුණු ගෝලාකාර කැටයම බිද දමලා නිදන් සොයලා. මේක දැනගත්තාම විශාල දුකක් ඇතිවුනා.
මේ ඡායාරෑපයේ තියෙන්නේ ඒ විනාශ කරපු ගල් සයනයේ අදාල ගෝලාකාර කැටයම් හතරෙන් එකක්. මේක ගත්තේ පසුගිය ඇසළ පුන් පොහෝ දිනයේදී.

Tuesday, August 11, 2009

අපේ භූමියේ නියම උරැමක්කාර‍යෝ (වැද්දෝ)




විදෙස් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරු කණ්ඩායමක් වරක් මෙරටට පැමිණ විශේෂ පරීක්ෂණයක් කළා. ඒ මෙරටින් හමුවන ප්‍රාග් ඓතිහාසික මානවයා සහ නූතන සිංහල ජනතාව අතර පරිනාමික බන්ධුතාව සොයා ගැනීම. ඒ වගේම ඔවුන් දෙමළ ජනතාවත්, මුසිල්ම් ජනතාවත් මේ පැරණි මානවයාට සමානදැයි සොයා බැලුවා. අවසාන ප්‍රතිඵලය වුනේ අපි කිසිවකුත් මෙරට සිටි ප්‍රාග් ඓතිහාසික මානවයා සමග පරිනාමිකව සම්බන්ධ නැති බව අනාවරණය වීමයි. නමුත් වර්තමාන වැදි ජනතාව අතීත මානවයා සමග විශාල නෑදෑකමක් තිබෙන බව තහවුරු වුනා. එහෙනම් අද නොදියුණු එහෙමත් නැත්නම් ගෝත්‍රික කියල හදුන්වන මේ ජනකොටස අපේ ශ්‍රී ලංකාවේ නියම උරුමක්කරුවන්.
‍මම මේක සිහිපත් කළේ පසුගිය 09 වැනිදා ලෝක ආදිවාසී දිනය යෙදී තිබුණු නිසා. නමුත් රජයවත් වෙනත් වගකිවයුතු අයකුවත් එදා මොවුන් ගැන අවධානය යොමු කළේ නැහැ. අද වැදි ජනතාවට තමන්ගේ පාරම්පරික දඩබිම් අහිමිවෙලා. දුනු හී තළ වෙනුවට උදැල්ල පුරුදු කරපු වැද්දෝ දැන් නූතන සමාජයේ නන්නත්තාර වෙලා. වැදි ජනතාව බලන්නට එන දහස් ගණනක් සංචාරකයන් නිසාත් ඔවුන්ගේ සාමාන්‍ය දිවි පෙවතට බාධා එල්ල වෙලා. වෙනද නටපු කිරි කොරහ අද වන විට ප්‍රසංග වේදිකාවට ගෙනියන්න වැද්දෝ කටයුතු කරලා. ඒක සංස්කෘතිකයම වශයේ ගැටලුවක් ද කියලා මම දන්නේ නැහැ.
ඒත් අපි දැකපු දෙයක් ගැන සටහන් නොකර බැහැ. වැදි ගම්මානයට ගියහම දකින්න තිබෙනවා. වැදි කාන්තාවන් විවිධ නිශ්පාදන කරන ආකාරය. ඔවුන් මල් බදුන් සකස් කරනවා. මී පැණි විකුණනවා. දුනු හී තල පවා විකුණන්න තිබෙනවා. මේ සදහා යම් අතහිත දීමක් සිදුවුවහොත් වැදි ජනතාවට යම් කිසි ආකාරයකින් තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න හැකිවේවි කියලානම් හිතෙනවා.
ඒත් වැදි ගම්මානයක කරපු සංචාරයේදී අහන්න ලැබුණු දෙයක් තමයි. අක්ෂර මාලාවක් නැති ඉතා සරල ඒ වගේම ඔවුන්ටම පමණක් ආවේණික භාෂාව වැදි දරුවන්ට පාසලේදී ඉගෙන ගන්න නොලැබෙන බව. ඒ නිසාම හැමදාමත් වැද්දන්යැයි හංවඩු ගැසෙන මේ දරුවෝ ටික දිනකින් පාසල් ජීවිතයට ආයුබෝවන් කියනවා.
මම කියන්නේ නැහැ වැද්දෝ හැමදාමත් වැද්දෝ විදියට ඉන්න ඕන කියලා. ඒත් වැද්දන් සතුව තියෙන පාරම්පරික දැනුම. ගතිසිරිත් සංස්කෘතික ලක්ෂණයන් සියල්ල අනාගත පරපුර වෙනුවෙන් හෝ ඉතිරි කරගන්න අපේ පාලකයෝ කටයුතු කළ යුතුයි. මේ සදහා විධිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. එහෙම වුනොත් අපේ රටේ පාරම්පරික උරැම කරැවන්ගේ උරුමය ආරක්ෂා වේවි. නැත්නම් ඒ ටික දෙනක් අපිත් එක්කම විනාශ වෙලා යාවි.

Wednesday, March 18, 2009

පිරමීඩ ජාවාරම

මේ ලගදි දවසක් මට යාළුවෙක් පොඩි වැඩකට කථා කලා. එයාගේ අක්කගේ යාළුවෝ වගයක් පුංචි ව්‍යාපාරයක් ගැන කතා කරන්න එනවලු මටත් වාසියක් වේවි කියලා එන්න කිව්වා. ඉතින් මමත් ගියා. යනකොටත් මට මේ ගැන ලොකු සැකයක් තිබුණා.
මේ අය ඇවිත් තිබුණේ සුඛෝපභෝගී වාහනයකින්.
ඉතින් එයාලා අපිට පැය තුනක දේශනයක් කළා. ඒ දේශනයේදී භාණ්ඩ අළෙවි කිරීම සදහා ප්‍රචාරක කටයුතු වලට වියදම් කරන හැටි කියා දුන්නා. මේ අය මුලුමනින්ම දේශීය ආයතනයක් කියලත් කිව්වා. පටන් අරගෙන වසරක් යද්දී බිලියන ගානක භාණ්ඩාගාර බිල්පත් ලබාගත් බවත් කිව්වා. අපි අහගෙන හිටියා. ඊට පස්සේ කියනවා එයාලගේ භාණ්ඩ මිලදී ගෙන කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා. හැම සතියකම රැපියල් 50000 ක් බැගින් අපේ ගිනුමකට බැර කරනවාලු. පුදුම රසවත් කතාවක්.
අපි එයාලගෙන් 0.5 ක අගයක් ඇති භාණ්ඩයක් මිලදී ගත යුතුයි. ඒ භාණ්ඩයේ සාමාන්‍ය වටිනාකම රැපියල් 50,000 ක් වෙනවා. ඊට පස්සේ අපි අපේ හිතවත්ම මිතුරන් දෙදෙනෙක් මේ සමග සම්බන්ධ කළ යුතුයි. ඒ අයත් අර භාණ්ඩ දෙකක් මිලදී ගත්තොත් අපේ ගිනුමට රැපියල් 5000 ක් බැර වෙනවා. ඔය විදියට යාළුවන් යාළුවන් එකතු කිරීමෙන් තවත් අපූරැ පිරමීඩ ක්‍රමයක් නිර්මාණය වෙනවා. මේකට එකතු වෙන්න මාත් එක්ක හිටපු කිහිප දෙනෙක්ම තීරණයක කළා. මගේ යාළුවාගේ අක්කත් ඒකට දැනටමත් එකතුවෙලා තියෙනවා. ඉතින් මම මෙයාලගෙන් හරස් ප්‍රශ්න අහනකොට මේ අය මට අභියෝග කළා මේක පිරමීඩ ජාවාරමක් නෙවෙයි කියලා. තව සති කිහිපයයි. මම ඔප්පු කර පෙන්වනවා මේක පිරමීඩ ජාවාරමක් තමයි කියලා. ඒ වගේම සමාගම් මැදුරේ ලියාපදිංචි කරල තිබුණත් මේක ලෝකය පුරා ව්‍යාප්ත වුණු ජාවාරමක් බව මට හොයාගන්න පුළුවන් වුනා.
දැන් මම ගේමට බැහැලා ඉන්නේ. ඔබ දන්න මේ ව‍ගේ තොරතුරැ මට අවශ්‍යයි.
කරැණාකර ඒ පිළිබද දැනුම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

Tuesday, March 17, 2009

කාලෙකට පස්සෙ................. ලංකාවේ හිටපු රජවරැ

ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තවත් බලන්න බැරි වෙලා හිටියේ.
වැඩ වැඩි නිසාම ඉතින් මේ වැඩේ මග ඇරිල ගියා.
අද පටන් ගත්තෙ මොනව හරි ලියන් ඕන කියල......... ඒත් ලියන් දෙයක් හිතා ගන්න බැහැ. ...............
....................................................................................
ඒත් මෙන්න මේක ලියන්න ඕන කියල හිතුන
‍අපි අපේ රටේ රජවරැ ගැන හිතාගෙන හිටියෙ කොයිතරම් වැරදි විදියටද කියල මේ අනුව පෙනෙන නිසා මට හිතුනා මේ ගැන සටහනක් තැබිය යුතුයි කියලා.
අපි හිතාගෙන හිටියේ ලංකාව පාලනය කළේ මහා ඒකාධිපති පාලකයෙක් කියලා........
නමුත් තත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් බව මේ අනුව පැහැදිලි වෙනවා.

මහනුවර රජකරපු නරේන්ද්‍රසිංහ රජු වරක් විසූවේ පනික්කියා නම් බෙරගසන මිනිසකුට කබායක් පිරිනමා තිබෙනවා.
මෙය සම්ප්‍රදාය විරෝධීලු මෙය දුටු රම්මොලක මහ නිලමේ එම කබාය බෙරකරැ හැද සිටියදීම ඉරා දමා ඔහු සිරගත කළේලු.
අවසානයේ රජු කරපු මේ ක්‍රියාව ගැන තීරණයක් ගත් අදිකාරම ඇතුළු සෙසු ප්‍රධානීහු රජු වරදක් කළ බව තීරණය කර තිබෙනවා. අවසානයේ ඔවුන්ගේ තීරණය වී ඇත්තේ රජු ඒ සදහා දඩුවම් විදිය යුතු බවයි. ඒ අනුව රජුට දඩයක් නියම කර තිබෙවනා. එම දඩය රජු විසින් මහ දේවාලයට ගෙවිය යුතුයැයි තීරණය වූ පසු රජු විසින් එය ගෙවා දමා තිබෙනවා.

අපි හිතාගෙන හිටියේ.............. ලංකාවේ රජවරැ ගැන අපිට මවා තිබූ ප්‍රතිරෑපයේ දැක්වුණේ මෙවැනි රජවුරැ නොවෙයි ‍නේද ? අපි හිතාගෙන හිටියේ අන්තනෝමතික වැඩකරන ඒකාධිපති රජවරැ ලංකාව පාලනය කළ බවක් නේද ?

සංවාදයට විවෘතයි. ............................

Friday, January 16, 2009

අවසන් නිමේශය



ගාල්ල කළුවැල්ල පන්සල පිහිටා තිබෙන්නේ නගරය මධ්‍යයේ.
මේ හරිය ඉතාමත්ම ජනාකීර්ණයි.
එක පැත්තකින් තියෙන්නේ මහ මුහුද
දවසක් මහ දවාලේ පන්සලට අමුත්තෙක් ඇතුළු වුනා. ඒ ඉදිරි දොරටුවෙන් නෙවෙයි.
පිටිපස්සේ දොරටුවෙන්.
මෙයා කෙලින්ම ගියේ නායක හාමුදුරැවෝ පෙනෙන තැනකට.
හැබැයි හාමුදුරැවොත් එක්ක කථා කලේ නැහැ.
උන්වහන්සේට පේන්න බිම දිගා වුනා.
නැගිටින්න බැහැ.
කවදාවත් පන්සලට ආවෙ නැති අළුත් අමුත්තා ගාවට හාමුදුරැවෝ ගියා.
එතකොට මෙයා ලේ පෙරාගෙන ඉන්නවා.
කව්දෝ හොදටම ගහලා.
බෙල්ල කැපිලත් තිබුණා.
ඒ නිකන් ගෝරියකට පැටළිලා නෙවෙයි.
එයාගේ මස් අනුභව කරන්න.
මේ අමුත්තා ඉත්තෑවෙක්. පොඩි එකෙක් නෙවෙයි.
හොදට වැඩුණු නිරෝගී ඉත්තෑවෙක්.
මස් වල රහ වැටුණු මිනිස්සු මරන්න එළවද්දි මේ ඉත්තෑව රිංග ගත්තේ ලගම තිබුණු පන්සලට.
හාමුදුරැවෝ මෙයාට හොදට සාත්තු කළා.
ඒත් එයාගේ ජීවිතය බේරගන්න බැරි වුනා.
විනාඩි කිහිපයක් හුස්ම අල්ලගෙන හිටපු ඒ අහිංසක අසරණ සතා මිය ගියා.

Thursday, January 15, 2009

මේක ඉතා වැදගත් තැනක්.............



කාටද කියන්න පුළුවන් මේ කොහේද කියලා...................
මේ ඡායාරෑප දෙක අදින් වසර 40 කට පමණ පෙර අවස්ථාවන් දෙකකදී ගත්තු ඒවා.

Tuesday, January 13, 2009

කැබැල්ලෑවා.......




මේ පුංචි කැබැල්ලෑ පැටියා හමුවෙලා තිබුණේ කැලෑවේ ඇවිදින්න ගියපු තරැණයන් පිරිසකට. ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේ මොකෙක්ද කියලා. ඔවුන් කිසිම දිනයක කැබැල්ලෑවෙක් දැකල තිබුණේ නැහැ. මේ අමුතු සතාව ඔවුන් ගෙදර ගෙනාවා. ගෙදර හිටපු සීයා තමයි කීවේ මේ ඉන්නේ කැබැල්ලෑ පැටියෙක් කියලා. ඒකා සුදුම සුදුයි. ලොකු වෙනකොට දුඹුරැ පාට වුනත් තවමත් පොඩි එකානේ........... .
කැබැල්ලෑවෙක් නිවසක හදන්න බැහැ. ඒක නීති විරෝධී කටයුත්තක්. මේ තරැණයන් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයට කැබැල්ලෑ පැටියව භාර දුන්නා. දැන් කැබැල්ලෑවා කිරි බොමින් වැඩෙනවා.
කැබැල්ලෑවා සත්ත්ව විද්‍යාත්මකව හදුන්වන්නේ මානිස් ක්‍රැසිකෝඩාටා ලෙසිනි. මේ අහිංසක සත්ත්වයා මේ වනවිට වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්වයෙකුද වනවා. ඒ වගේම කැබැල්ලෑවා විශේෂ සතකු වන්නේ සිරැරේ රෝම නොමැති එකම ක්ෂීරපායී (කිරි බී වැඩෙන) සත්ත්වයාද වන නිසා.
මස් සදහා කැබැල්ලෑවා මරා දැමීම සහ වනාන්තර විනාශය නිසා ඔවුන් ඉතා නුදුරැ අනාගතයේදී ලංකාවෙන් වදවී යාමට ඉඩ තිබෙනවා.

Friday, January 9, 2009

ආසියාවේ පැරණිම නැව ශ්‍රී ලංකාවෙන්....................








මීට අවුරැදු ගණනාවකට පෙර ගොඩවාය ප්‍රදේශයේ බෙල්ලන් එකතුකිරීමට කිමිදෙන දෙදෙනෙකුට මුහුදේදී අපූරැ වස්තුවක් ලැබුණා. ඒක ගල්බංකුවක්. මේකේ සළකුණක් තිබුණා. ඒකට කියන්නේ නන්දිපාද සළකුණ කියලා. මේ සළකුණ භාවිතා කළේ ක්‍රි.පූ. 300 ත් ක්‍රි.ව. 300 ත් අතර කාලයේදී.
පසුගිය දවස්වල සමුද්‍ර පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් මේ ගල් බංකුව ලැබුණු ස්ථානයේ මුහුද ගවේෂණය කළා. පුදුමයක්. ගිලී ගිය නැවක නටඹුන් එම ස්ථානයේ දක්නට ලැබුණා. මේ නැ‍වේ නෂ්ඨාවශේෂ අතර කළු රතු මැටි බදුන් ලෙස හදුන්වන එක පැත්තක් රතු අනෙක් පැත්ත කළු පැහැති මැටි බදුන් ගොඩක් දක්නට ලැබුණා. ඒ වගේම අතීතයේ මැටි බදුන් ඔබදමන්න භාවිතා කළ ද්‍රව්‍ය රැසකුත් එම ස්ථානයේ තිබුණා.
ඒ වගේම දැඩි ලෙස දිරාගිය ලී නැවක අවශේෂ එම ස්ථානයේ තිබෙන බව පුරාවිද්‍යාඥයන් තේරැම් ගත්තා. අතීතයේ භික්ෂූන් වහන්සේලා අසුන් ගැනීමට භාවිතා කළ දෙයක් තමයි අර ගල් බංකුව. ‍ගොඩවාය පැරණි වරාය පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර හතරක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරෙන් හමුවූ මේ ගල් බංකුව, එතැන තිබූ මැටි බදුන් නිෂ්පාදනය කළ ආකාරය හා එහි ඇති අවශේෂ අනුව පුරාවිද්‍යාඥයන් නිගමනය කළේ ක්‍රිස්තු පූර්ව 300 දී පමණ ගිලී ගිය නැවක නටඹුන් තමන්ට හමුවී ඇති බවයි.
එසේනම් මේ හමුවී තිබෙන්නේ මෙතක් ලොව හමුවූ පැරණිතම නැව නොවුනත් එය අනිවාර්යයෙන්ම ආසියානු කලාපයේ දී හමුවූ ‍පැරණිතම නැව බවටනම් විවාදයක් නැහැ.
අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම ඓතිහාසික වටිනාකම ඒ අනුව සිය දහස් ගුණයකින් ඉහළ ගියා.

ලොව පැරණිම වී......... ශ්‍රී ලංකාවෙන්




තිස්සමහාරාමයේ කැණීම් වලින් අපූරැ වස්තුවක් හමුවුණා.
පියනකින් වසා තිබූ මුට්ටයක්.
හුගක් දෙනෙක් හිතුවේ මෙහි කාසි ඇති කියලා.
ප්‍රවේශමෙන් උඩට අරගෙන පියන ඇරලා බලන කොට ඒක ඇතුලේ වී පුරවලා.
මේ මුට්ටිය හමුවුනේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්යැයි කාල නිර්ණය කරපු පස්තට්ටුවකින්.
සමහර විටක පසුකාලයකදී මෙය වළලන්නට ඇති.
නමුත් මේ මුට්ටියේ තියෙන සංකේත කිහිපයක් හා මුට්ටිය සෑදූ තාක්ෂණය අනුව එය අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට
එහෙමනම් මේ වී තොගය අදින් අවුරැදු 2300 ක් පැරණියි.
මුට්ටියට කිසිදු හානියක් සිදුවී නොමැති නිසා වී තොගය ඉතා පිරිසිදුව තිබුණා.
නමුත් වී බොල් වෙලා.
දැන් මේ සියල්ල තිබෙන්නේ ජර්මනියේ.
වැඩිදුර පරයේෂණ සදහා රැගෙන ගිහින්.
තවත් වසරකින් පමණ අපට නිවැරදි තොරතුරැ ලැබේවි.
කොහොම වුනත් මේ වී ටික ලෝකයේ පැරණිම ධාන්‍ය තොගය විය හැකියි.
මෙය වැදගත් වන්නේ අපේ අතීත මුතුන් මිත්තන්ගේ ආහාර රටාව අධ්‍යයනය කරන්න තියෙන හොදම සාක්ෂියක් නිසා

නොදන්නා කම

වෛද්‍යවරැන් කරන දේ මට නොතේරේ. ඔවුන්ට ඇති ගැටළුද මට කිසිදා තේරැම්ගත නොහැක ඒ මම වෛද්‍යවරයකු නොවන නිසාවෙනි.
මිනින්දෝරැවන් කරන කියන දේ පමණක් නොව ඔවුන්ගේ ගැටළුද මට නොතේරේ ඒ මම මිනින්දෝරැවකු නොවන බවැනි.
බස් රියදුරෝ, බස් හිමියෝ හැමදාමත් කරන අරගල මම තේරැම්ගන්නේ නැත. ඒ මම එවැන්නෙකු නොවන බැවිනි.
ගුරැවරැන්ට ඇති ගැටළුද මම නොදනී. මම කිසිදා උගන්වා නැති බැවිනි.
මාධ්‍යවේදීන් වශයෙන් අපට, මට ඇති ගැටළු මෙන්ම අප කරන කියන දෑ ඔබ කිසිවෙකුත් කිසිවක් නොදනී. තේරැම් ගැනීමට ද නොහැක. ඒ ඔබ මාධ්‍යවේදියකු නොවන බැවිනි.
ඔබ දන්නේ මාධ්‍යවේදීන් ගැන, මාධ්‍යය ගැන අන් කවරකු හෝ කියන කථාවක් පමණි.

Thursday, January 8, 2009

මාධ්‍ය නිදහස

මම හිතාගෙන හිටියේ මේ මාධ්‍ය නිදහස ගැන කථාව ඊයේ රාත්‍රියෙන් නවතා දමන්න. ඒත් අද උදේ වරැවේ ලසන්ත විකමතුංගට වෙඩි තියලා. ඔහු කළුබෝවිල රෝහලේදී මියගියා. මේ වෙලාවේ අපිට මතක්වෙන්නේ රිචඩ් ද සොයිසා වගේ මාධ්‍ය වේදීන් ඝාතනය කරපු හැටි. දැන් තත්ත්වය ඊටත් වඩා එහා ගිහින් වගේ..........
සිරසට ගහපු වෙලාවේ මාධ්‍ය නිදහස නැති වෙනවා. නැති කරන්න හදනවා කියලා අපි කියද්දී ඒකට විරැද්ධ වුනු සහෝදරයොත් හිටියා. සමහරැ කිව්වා සිරස යූ.එන්.පී. එකත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණයක් කරලාය කියලා. දැන් ඉතින් එයාලා මොකද කියන්නේ............. ලසන්ත වික්‍රමතුංග තමන්ටම වෙඩි තියාගන්න ඇති නේද ?

අද ලංකාදීප පත්‍තරේ ගුරැදා විග්‍රහය අවසන් කරලා තිබුණේ මෙන්න මේ විදියට
මොලර් නම් ජර්මානු ජාතික කවියා ලියපු මේ පද පේලියෙන්.............
ඔවුන් පැමිණ ක්‍රිස්තියානුවන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මා ක්‍රිස්තියා‍නුවෙකු නොවන නිසා
ඔවුන් පැමිණ අසල්වැසියන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
ඔවුන් මාගේ නිවසට නොපැමිණි නිසා
ඔවුන් පැමිණ යුදෙව්වන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මම යුදෙව්වෙකු නොවන නිසා.
ඔවුන් පැමිණ ප්‍රජාතන්ත්‍රවාදීන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මා දේශපාලනය නොකරන නිසා.
ඔවුන් පැමිණ මගේ නිවසට තට්ටු කරන විට මා වෙනුවෙන් කතා කරන්න කිසි‍වෙකු නොවුණි.
ඔවුන් සියලු දෙනා ඝාතනය කොට අවසන් නිසා

විදුහල්පතිගේ අපචාරය හා නීතිය

එක්තරා පාසලක විදුහල්පති වරයෙක් පිරිමි ළමයකුට අසැබි වීඩියෝ දර්ශන පෙන්වලා ඒ ළමයා ලිංගික ක්‍රියා සදහා පොළඹවාගෙන. මේක මේ ළමයා කාටදෝ කියලා දැන් වැඩේ හෙළි වෙලා. පාසලේ ගුරැවරැ සහ ළමයි සියළු දෙනාම මේ සිද්ධියට එරෙහිව නැගී සිටිනවා.
ගමේ මනුස්සයෙක් මට කථා කළා. ගුරැවරැ අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි කරන්න ගියපු වෙලාවේ මේ විදුහල්පති වරයාගේ හිතවතකුගේ බිරිදක් අමාත්‍යාංශයේ ඉදගෙන විදුහල්පති නිවැරදි බව කීවාලු. දැන් පරීක්ෂණ යට යනවාලු. ඇයගේ හයිය වැඩ කරනවාලු. මේ වෙනුවෙන් මාධ්‍ය මගින් සාධාරණය ඉටු කරන්නලු.
මම ඊයේ රෑ මේ ගමට ගියා. ළමයාගේ විස්තර සහ සිදුවීම සොයන්න.
කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත වගේ. ඒත් පැමිණිල්ල කරලා තියෙන්නේ ගුරැවරැ කිහිපදෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයට. ඔවුන් කියන්නේ විදුහල්පති ඉවත් කරන්න කියලා. අමාත්‍යාංශයයෙන් යැයි කියාගත් කිහිපදෙනෙක් සහ නීතීඥයෙක් ඇවිත් අර ළමයාගේ තාත්තා හමුවෙලා. විදුහල්පති ළමයාට කරදර කළායැයි ප්‍රකාශ කරන්න එපා කියලා ඉල්ලීමක් තියෙනවා.
සිදුවීමට දැන් දින හයක් වෙනවා. වෙලා තියෙන්නේ 02 දා. අවුරැදු 14 ක බාලවයස්කාර දරැවෙකුට මෙවැනි අපරාධයක් සිදුවූ විට ළගම ඇති පොලීසියට පැමිණිලි කළ යුතුයි. ඒත් දෙමව්පියන්වත් පොලීසියට ගිහින් නැහැ. දෙමව්පියන් අවශ්‍ය නැහැ ඕනෑම කෙනෙකුට පොලීසියට යන්න පුළුවන්. පොලීසියට නොගිය අපරාධයක් ගැන අපිට මාධ්‍ය මගින් හෙළිකරන්න හැකියාවක් නැහැ.
ප්‍රශ්නය තියෙන්නේ මේ ළමයාගේ තාත්තා පොලිස් කාරයෙක් වීම. ඔහු නීතිය නොදන්නවා නෙවෙයි. නමුත් ඔහු නීතිය තම අතට ගන්න සූදානමින් ඉන්නවා කියලත් මට පොඩි සැකයක් ඇති වුනා. ඒක කොහොම වුනත් වැරදි වැඩක්

Wednesday, January 7, 2009

උතුරේ යුධ බිම

මේක මගේ නිර්මාණයක් නෙවෙයි.
නම නොදන්නා කවුරැන් හෝ විසින් සටහන් කරලා මට එවා තිබූ ඊ මේල් පණිවුඩයක්.
මට හිතුනා මෙය මෙහි සටහන් කළ යුතුයි කියලා
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

වන්නියේ යුධ අගල් තුල
කදු ගැසෙන යොවුන් විය මත
නියගලා මල් පි‍පෙයි
එක යායට

ඊසාන මෝසමේ බීරැමෙන්
වෙන් කෙරැණාට
උතුරේ කදුලු දකුණින්
තෙත බරිත ලේ සුවද හමනවා
වැස්සට දෙස් තියන
අහසට හූල්ලන
හාරිස්පත්තුවේ
අගුනකොළ පැලැස්සේ
බුලත්කොහුපිටියේ
අම්මලාගේ නැහැ සිදුරැ විනිවිද
ගැඹුරැ හද පතුලටම

කිලිනොච්චියේ
වර්ග කිලෝමීරටයක්
සිංහල බුක්තියට හරවන්න
යසවතීගේ කොලුවා ඇද වැටුනා
තවත් සිය ගාණක් එක්ක
ඔල්වරසන් නගන
රෑපවාහිනියවත් දන්නෑ
වැලලෙන්න බිම් අගලක් නැති වග
උපතින්ම සිංහල
ඒ කොලු ගැටවුන්ට

වගේ වගක් නැති කොළඹ
සවුදිය පුරනවා
අලුත් අවුරැද්දට
පෙන දදා උතුරද්දි කිරි මුට්ටි
කොළඹ
කිලිනොච්චියේ ගලනවා
පෙරදාක කිරිකර පෙවුන
ලේ කදුළු
සිංහල ද දෙමළ


සොයාගත නොහැකි වෙන්කර

ජීවිතේ මල්
යුද්ධෙ තියෙනකල්
දියවන්නාවට නැවුණු
වැටකෙයියා අත්තක ඉදන්
කපුටෙක් කියනවා
සිංදුවක්

සහෝදරයාගේ නිරැවත


මම අද උදේ තැබූ සටහනකින් එක්තරා මාධ්‍යවේදියකු ගැන කියා සිටියා. ඔහු මොනවා කළත් අපේ සිතේ ඔහු ගැන වෛරයක් තිබුණේ නැහැ. අපි අද හවස මාධ්‍ය මර්ධනයට එරෙහිව ගාල්ල නගරයේ උද්ඝෝෂණයක යෙදී ආපසු නිවෙස් කරා යද්දී අපේ අර මාධ්‍යවේදියාගේ නිරැවත හෙළි වුනා.
ඉහත ඡායාරෑපයෙන් දක්වා ඇත්තේ ඔහු කළ වැඩක්.
යුද හමුදාවට, පොදුවේ ලබාගත් යුධමය ජයග්‍රහණ සියල්ලටම අපි සුබ පතනවා.
අපි සියළු දෙනාම කොන්දේසි විරහිතව රණවිරැවන් සමග ඉන්නවා. නමුත් මේ කරපු වැඩේ අසික්කිතයි. නින්දිතයි. චුත්තයි. (මට කියන්න වචන නැහැ)
මේ යකා අපේ සියළු මාධ්‍යවේදීන් පාවාදීලා.
මේ පුවරැවේ රණවිරැවන්ට උපහාර පිදීම ගැන අපිට ගැටළුවක් නැහැ. ඒත් ජාතික නිදහස් පෙරමුණ කියන විමල් වීරවංශගේ දේශපාලන පක්ෂයක් එක්ක එකතුවෙලා කටවුට් ගහන්න අපි මේ යකාට අවසරයක් දුන්නේ නැහැ. මූ මේ විමල්ට පාවාදීලා තියෙන්නේ මාධ්‍යවේදීන් සියළු දෙනාගේම ආත්මගරැත්වය.
මේක යට මීට වඩා පසුබිම් කථාවක් තියෙනවා.
මූ හැමදාමත් කීයක් හරි හොයාගන්නේ මාධ්‍ය පාවාදීලා කියලා අපිට සැකයක් තිබුණා.
බැනර් එකක් ගහන්න. පිකටින් එකක් කරන්න ඕන කියලා නීතීඥයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් සල්ලි කීයක් හරි ඉල්ල ගන්න තරම් නින්දිතයෙක් වුණු මේ මාධ්‍යවේදියායැයි කියා ගත්තු එකාට අපි තවදුරටත් මාධ්‍යවේදියෙක් ලෙස සලකන්නේ නැහැ.
ඒ යකා වචනයෙන් කියන්න බැරි තරම් පාහරයෙක්
අපි මේ පුවරැව දැකපු වෙලාවේ ඒ යකාගේ මාධ්‍ය සංගමයේ ලේකම් සමන් සී. ලියනගේ සහෝදරයාත් අපිත් සමග හිටියා. ඔහු මේ පුවරැව දැකලා පුදුමයට පත්වුනා. අනේ අපිනම් මෙහෙම දෙයක් දන්නේ නැහැ..... කියලා කියපු ඔහු අපි මේ යකාට විරැද්ධව වැඩ කළ යුතුයි කියලත් කිව්වා.

ජනවාරි 07 - ...................... කඩේ යාම හා නිදහස වෙනුවෙන් සටන් කිරීම

හැමදාම උදේ පාන්දර සියළුම පුවත් පත් මිලදී ගෙන ඒවා කියවීම මගේ දිනචර්යාවේ කොටසක් වෙලා තිබුණේ දැන් වසර ගණනාවක සිට.
අද උදේ පත්තර ගත්තාම ඇති වුණේ ලොකු කළ කිරීමක්...............
හැම පත්තරේකම මුල් පිටුවේ තිබුණේ සිරසට එල්ලවූ ප්‍රහාරය ගැන.......
ඒත් රජයේ පත්තරවල මේ ගැන වචනයක්වත් නැහැ.
ඒකේ ඉන්නේ මාධ්‍යවේදියෝ නෙවියද කියලා ගැටළුවක් ඇතිවුනා.
ජාතික රෑපවාහිනියට එක්තරා පිරිසක් ඇවිත් පහරදීපු වෙලාවේ....
අපි පාරට බැහැලා උගුර ලේ රහ වෙනතුරැ කෑ ගැහුවේ කොන්දේසි විරහිතව මාධ්‍ය නිදහස වෙනුවෙන්......
ඒත් අද ර‍ජයේ මාධ්‍ය සිරසට එල්ල කරපු ප්‍රහාරය ගැන නිහඩයි.
මේ නිහැඩියාව කියාපන්නේ .......... මොකක්ද ?
ප්‍රහාරය එල්ලකළේ කවුද කියලා ඔවුන් නොකියා කියනවා නේද ?
මම නිකම්ම නිකම් පත්තරකාරයෙක්..........
ඒත් අපි මාධ්‍ය නිදහස වෙනුවෙන් හඩ නැගිය යුතුයි.
ජාතික රෑපවාහිනියේ සහෝදර මාධ්‍යවේදියෙකුගෙන් මේ ගැන මම ඇහුවා.......
ඔහු විරෝධතා ව්‍යාපාර වලට නම්දරපු කෙනෙක්.....
අපිත් ඔහු සමග රෑපවාහිනී ප්‍රහාරයේදී පාරට බැස්සා................
මේක ගැන මගේ පරිකල්පනාවට ආවේ නැහැ... ඒ නිසා මම විරෝධතා දක්වන්නේ නැහැ කියලා ඔහු කිව්වා.
ඒ සහෝදරයට මම නැවතත් මෙහෙම කියනවා.
කමක් නැහැ සහෝදරයා.......
ගැහුවේ කාටද ? ගැහුවේ කව්ද ? කියන එක අපිට ප්‍රශනයක් නැහැ.......
අපිට තියෙන ප්‍රශ්නය මාධ්‍ය නිදහස අහිමිවීම .....................
ආසන්නම හේතුව සිරසට එල්ලවූ ප්‍රහාරය බව අපි දන්නවා
මේක අවසන් සිදුවීම වෙන එකක් නැහැ.
සමහර විට ඉදිරි දවසක උඹේම මාධ්‍ය ආයතනයට නැවත ගහවි.
නැත්නම් උඹටම ගහවි.
එදාට අපි උඹ කියපු සියළු දේ අමතක කරලා.............
උඹ වෙනුවෙන් උඹේ මාධ්‍ය ආයතනය වෙනුවෙන් පාරට බහිනවා...... උඹ එපා කිව්වත්........
ඒ අපේ හැටි.....
අපි අපේ මාධ්‍ය නිදහස රැකගත යුතුයි.
තොරතුරැ ලබාදීමේත් ලබාගැනීමේත් අදහස් පලකිරීමේත් මානව අයිතිය නැතිකරන්න අපි ඉඩදෙන්නේ නැහැ.

ජනවාරි 06 දා - මාධ්‍ය නිදහසේ අභියෝගය

ගාල්ල දිස්ත්‍රික්කය පුරා ඇති ජනතා ප්‍රශ්න කිහිපයක් මාධ්‍ය මගින් සාකච්ඡාවට භාජනය කරන්න අවශ්‍ය සැළසුම් සකස් කරලා මම 05 දා රාත්‍රී නින්දට ගියේ 06 වැනිදා උදේ දෙකට විතර. වැඩි වෙලාවක් නිදාගන්න ලැබුණෙ නැහැ. 5.30 ට විතර දුරකථන නාද වෙන්න අරගෙන නැගිට්ටේ නින්ද යන්නෙ නැති එවුන්ට හිතෙන් බැන බැන.
මචං සිරසට බෝම්බ ගහලා.......... මොකද වෙන්නේ....... කථා කරන හැමෝගෙන්ම ප්‍රශ්නයක්.....
පෝද්දල ජයන්තට කථා කලා.
මල්ලි මම එතනට යනවා ගිහින් කියන්නම්.....
1996 ඉදල මගේ ජීවිතෙත් එක්ක සමීපව තිබුණු සිරස පැය කිහිපයකට නිහඩ වෙලා.
අනේ පුතේ මල්ලි කොහොද ඉන්නෙ කියල බලන්න. එයාලට මොනව වෙලාද දන්නේ නැහැ.
අම්මා අඩන්න අරගෙන. ..........
මේ ප්‍රහාරය එල්ලවුනේ සිරස නාලිකාවටවත් එහි හිමිකරැ මහාරාජාටවත් නෙවෙයි.
සමස්ථ මාධ්‍යයට කියන එකයි මගේ අදහස.........
නිල්ලජ්ජිත, අවස්ථාවාදී දේශපාලනයක් තුල මාධ්‍ය නිදහස නැතිකරන්න අවශ්‍ය වෙලා තියෙනවා.
මේ එහි පළමු අවස්ථාව නෙවෙයි. ඒ වගේම අවසන් අවස්ථාවත් නොවන බව අපි හොදාකාරවම දන්නවා.
රජයට අවශ්‍යවෙලා තියෙන්නේ මාධ්‍ය පාලනය තමන්ගේ අතට ගන්න. අපි පොඩි කාලේ ප්‍රේමදාස ජනාධිපතිතුමාට වෛර කරා. පාසල් මාධ්‍ය අංකුර හැටියට හිටපු අපි දැක්කා මාධ්‍ය නිදහස සීමා කරන හැටි....
ඒත් දැන් හිතෙනවා............. ඒ කාලේ අදට වඩා නිදහසක් තිබුණා කියලා..............
මේවා රජය කරන දේවල් නොවෙන්න පුළුවන්............
ඒත් ප්‍රශ්නය තියෙන්නේ මාධ්‍ය නිදහස සුරැකීම රජයේ වගකීමක්..... ඔවුන් එය වටහාගෙන නැහැ.
එවන් තත්ත්වයක් තුළ වෙනත් බලවේග ක්‍රියාත්මක වෙනවා............
නැතිවෙන්නේ මාධ්‍ය නිදහස කියලා සරලව කියන්න පුළුවන් වුනත්.
එහි ගැඹුරැ දෙයක් තියෙනවා.
අදහස් ප්‍රකාශ කිරීමට හා තොරතුරැ ලබාදීමටත් ලබාගැනීමටත් අති මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය වනවා.
ඒ වගේම යුද්ධයක් කරන රටක (අපිත් යුද්ධයට හුරේ දානවා) මෙවන් සිදුවීම් ගැන ජාත්‍යන්තර වශයෙන් ලබාදෙන ප්‍රතිරෑපය හොද නැහැ.
මේවා රට කරවන ඇත්තන් තේරැම්ගත යුතුයි.
කොහොම උනත් මෙන්න මෙහෙමත් ප්‍රශ්නයක් තියෙනවා.
මහගෙදර වගේ වැඩසටහන්, සුපර් ස්ටාර් වගේ වැඩසටහන් වලට සමහරැ කැමැති නැහැ.
තමන් කැමති නැති ඒවා නොබල වෙන නාලිකාවක් බලන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා.
ඒකට තමයි රෑපවාහිනියේ රිමෝට් එකක් තියෙන්නේ. ඒවට කැමති අයත් ඉන්නවනේ.
ඒත් මේ වැඩසහටන් විවේචනය කරපු රජයේ මාධ්‍ය දැන් ඒවා කොපි කරන්න පටන් අරන්........
ඒ ගැනත් පොඩ්ඩක් විතර හිතන්න.........
ඒ විතරක් නෙවෙයි. ඕනම ඈත දුෂ්කර ගමකට ගිහින් පුළුවන්නම් එහේ තියෙන ප්‍රශ්නයක් කාටද කියන්න ඕන කියලා අහන්න.
මිනිස්සු කියාවි අපි මේක සිරස ට කියමු කියලා.......
ඒක තමයි අද රටේ යථාර්ථය.
පාලකයන් පිස්සු නටද්දී මිනිසුන්ගේ බලාපොරොත්තුව වෙන්නේ ජනමාධ්‍ය........ ඒකෙදී සිරසට ප්‍රධාන තැනක් හිමිවුනා.
අනිත් දේ තමයි යුද්ධය.
සිරස යුද්ධය පෙන්නන්නේ නැහැ කියනවා.
කව්ද කියන්නේ කොහොම ද කියන්නේ.......
සෑම පුවත් විකාශයකදීම යුධ බිමේ තොරතුරැ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයෙන් කියලා පෙන්නන්නේ ඒවා තමයි.
ර‍ටේ ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් වන දේවල් මාධ්‍ය මගින් පෙන්වන්න බැහැ ඒවා මාධ්‍ය මධ්‍යස්ථානයෙන් ගත යුතුයි කියලා නීතියක් ආවා. ............
දැන් ගමේ පොලීසිය හොර හරක් ඇල්ලුවත් ගන්න ඒ තොරතුරැ මාධ්‍යවලට දෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක.
මෙයත් එක්තරා විදියක මාධ්‍ය මර්ධනයක් තමයි............
සිරස ට පමණක් නෙවෙයි සියළුම මාධ්‍ය ආයතන වලට තොරතුරැ දෙන්නේ එයාලා.
ඒ වගේම ජාතික රෑපවාහිනිය, ස්වාධීන රෑපවාහිනිය, ස්වර්ණවාහිනිය යුධ බිමට තමන්ගේ කණ්ඩායම් යවල තියෙනවා.
සිරස මේ සදහා අවස්ථාවක් ඉල්ලුවේ එකවාතවක් දෙකක් නෙවෙයි.
නමුත් ඒ සදහා අවස්ථාවක් නොදී
රටේ ප්‍රචාරයක් ගෙනියනවා සිරස යුධ පුවත් ආවරණය කරන්නේ නැහැ කියලා.
ඒකත් ජාතික ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් නිසා හඩක් නගන්න විදියක් නැහැ.
මේවා සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ.
මාධ්‍යවේදීන් මුහුණ දෙන ප්‍රශ්න වල සැබෑ තත්ත්වය නොදැන මාධ්‍යගැන ඇතැම් පිරිස් වෛරයකින් පසුවෙනවා.
අපි ඔවුන්ට ආරාධනා කරනවා එන්න ඇත්ත දැනගන්න

ටකරං මඩුවේ දුක්විදින පාසල් සිසුන්






සුනාමියෙන් විනාශවූ ගිංතොට මහා විද්‍යාලයත්, කොග්ගල මාටින් වික්‍රමසිංහ විද්‍යාලයත් තාම පවත්වාගෙන යන්නේ ටකරන් මඩු වල. මේ පාසල් දෙකම හදන්න කොතෙකුත් රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් වුනත් ඒවා ගොඩනගන්න පාලකයන්ට වුවමනාවක් තිබුණෙ නැහැ. ඔවුන්ට ලැබෙන කොමිස් මුදල මදි නිසාද කියලා හොයලා බලන්න ඕන. දැන් සුනාමියට අවුරැදු හතරක් ගෙවිලා නව පාසල් වාරයත් ආරම්භ වුනා. ඒත් මේ පාසල් දෙකේ දරැවන්ට තවමත් ඉගෙනගන්න පන්තිකාමර නැහැ. ගිය අවුරැද්දේ ගිංතොට ළමයි පාරට බැස්සේ තමන්ට පාසලක් ඉල්ලලා. ඒ වෙලාවේ එතෙන්ට ආපු මහ ඇමැති තුමා නලව නලවා කථා කරලා සුරංගනා පොරොන්දු ටිකක් දුන්නා. ඊට පහුවදා ළමයින්ව උසාවි ගෙනිහින් කලහ කරන්න එපා කියලා උසාවි නියෝගයක් ගත්තා. ගුරැවරැ කිහිපදෙනෙකුට මාරැවීම් ආවා. විදුහල්පති තුමා තම කැමැත්තෙන් විශ්‍රාම ගත්තා. තාමත් විදුහල හැදිල නැහැ. අපි කිහිප වතාවක් මේ විදුහල් ගැන කරැණු අනාවරණය කළා. ඒ හැම වතාවකදීම මහ ඇමැති තුමාට බොහොම රිදුණා. සුනාමි වතුර දැක්කෙවත් නැති එතුමාගේ ගමේ පාසල් කිහිපයකටම සුනාමි සල්ලි වලින් ගොඩනැගිලි හදල. අපි නැවත සංවිධානාත්මකව කරැණු අනාවරණය කරන්න තීරණය කළා....................
හඩක් නැති පාසල් සිසුන්ට හඩක් වෙන්න අපි සූදානම්.......................................
සිරස විමර්ශන මෙය අනාවරණය කරන්න කැමැත්ත පල කිරීමත් ශක්තියක් වුනා.

Monday, January 5, 2009

ආදරවන්තයාගේ වේෂයෙන් එන මාරයා



තව ටික දවසකින් රටපුරා හැම තැනම ගොඩාක් ලස්සන මලක් පිපිල තියෙනවා දැකගන්න පුළුවන්. ඇත්තටම ඒ මල් පොකුරැ පිපුණු ගස් පුදුම ලස්සනයි. මේකට කියන්නේ වැලන්ටයින් ට්‍රී හෙවත් ආදරවන්තයන්ගේ ගස කියලා. ඒත් මේ ගස පිටුපස තියෙන කථාව ඉතාමත්ම භියකරැයි.
මේක අපේ රටට ආගන්තුක ශාඛයක්. ආදරවන්තයන්ගේ දිනය සමරන වකවානුවේ මලින් බරවන නිසා මෙය වැලන්ටයින් ශාඛය ලෙස හදුන්වනවා. මැලේසියාවෙන් ලංකාවට ගෙනාපු මේ ගස දැන් හැමතැනම පැතිරිලා. තද කොළපාට පත්‍රයේ යටි පැත්ත දම්පාට නිසා මේක පහසුවෙන් හදුනාගන්න පුළුවන්.
ඵල හට නොගත්තත් මුල් වලින් පමණක් නොවෙයි ඉතාමත්ම පුංචි ඉති කෑල්ලකින් පවා පැලවෙන මේ ගස වදකිරීම සිහිනයක් වෙලා. මැලේසියාව වගේ රටවල මේ ගස විනාශ කරන්න කෝටි ගණන් මුදල් වියදම් කළා. ඒ නිසා අපි මේ වතාවෙත් මල් පිපෙන වැලන්ටයින් ශාක සියල්ල විනාශ කරමු. මෙය පරිසරයට ඉතා අහිතකරයි. පරිසර අමාත්‍යාංශය මෙය වද කළ යුතු ශාඛයක් ලෙස නම් කර තිබෙනවා.
කරන්න තියෙන එකම‍දේ ගස උගුල්ලා ගිනිතබන එක. නැතිව මෙය විනාශ කරන්න බැහැ.
වසර 2000 දී මේ ශාඛයේ අවදානම් තත්වය පිරික්සන විට අවදානම් තත්ව හතක් දක්නට ලැබුණා. 2006 නැවත එහි අවදානම් තත්වය බලන කොට එය අවදානම් තත්ත්ව 11 බවට පරිවර්තනය වෙලා. ඉතින් ශාකය කොතරම් අපිට හානිකරද කියා අටුවා ටීකා අවශ්‍ය නැහැ.
අපි අපේ රටට ආදරය කරනවානම් ‍......... අපේ ස්වභාවික පරිසරය අපේම දරැ පරපුරට ඒ ආකාරයට උරැම කළ යුතුයැයි කියන මතයේ ඉන්නවානම් අපි මේ ශාකය විනාශ කර දමමු.

................. අනේ හාමුදුරැවනේ...................


අතහැර,
සටන් පාඨ........
නවතා,
ජය ඝෝෂා හඩ...
අනේ හාමුදුරැවනේ........
කියලා දෙනවද මට............ ?
බුදු බණ ඩිංගත්තක්.....

ජනවාරි 04 - එකතුවීමේ අවශ්‍යතාව

මහ ඇමැති තුමාගේ ලැප්ටොප් සිද්ධියෙන් පස්සේ අපේ අය නැවත සංවිධානය විය යුතුයැයි හඩක් නගනවා. ඒක හොද ප්‍රවණතාවක්. අතීතයේ පටන් ගත්තු මාධ්‍ය සංවිධාන පහක් විතර ගාල්ලේ තිබුණා. ඒත් ඒවා අඩපණයි. අපි අළුතෙන් එකක් පටන් ගත්තා. සියළුම දෙනා ඒකට සහභාගිවුනේ අළුත් පරපුර ගැන විශ්වාසය තියලා. ඒත් අපිට කාර්යබහුලත්වය නිසාම වැඩක් කරන්න බැරිවුනා. දැන් යෝධ ශක්තියක් එකතුවෙලා. වැඩක් කරමු කියලා හැමෝම කියන්නේ අවංක හැගීමෙන්. අපි එකා වගේ ඉන්නවානම් ඒකේ ශක්තිය ලැබෙන්නේ දුක්විදින ජනතාවට.............. හඩක් නැති මිනිසුන්ට හඩක් වෙන්න අපිට පුළුවන්...........

ජනවාරි 03 දා - මණ්ඩලේ කචල්

මාතර අපේ සහෘදයා පොලිස් ඇප මත මුදා හැරීමට අපේම කට්ටියක් විරැද්ධ වෙලා. පොලීසියෙන් ඉල්ලලා තියෙනවා අපේ මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.
මේකට හේතුවක් තියෙනවා. බොරැ වැරැද්දට පැටළුණු සගයා අති දක්ෂයෙක්. ඔහුගෙන් මග හැරෙන කිසිම පුවතක් මාතර දිස්ත්‍රික්කයේ කො‍හේවත් නැහැ. ඒ නිසා අපේ සාම්ප්‍රදායික මාධ්‍යවේදීන් ඔහුත් සමග තරහයි. ඉරිසියයි. මේ නිසා ඔවුන් බලන්නේ කල දුටු කල වල ඉහ ගන්න.
එක්තරා පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් මටත් කථා කළා. ඔහු කියන්නේ අපේ මාධ්‍ය සගයා ඇත්තටම වරද කරැවෙක් කියලා. මම හිනාවෙලා නිකන් හිටියා. ඔහු වරදක් කර ඇත්නම් උසාවියෙන් දඩුවම් දේවි අපි ඉවසෙගන ඉදිමු කියලා මම ඔහුට නැවතත් කීවා. ඒත් ඔහු මට කියන්නේ නෑ එයාට එරෙහිව නැගී සිටින්න ඕන කියලා. හැබැයි මේ කියන කෙනාගේ අතිනි දූෂණය වුණු කිසිම කාන්තාවක් පොලීසියට ගිහින් නැහැ. ඔහුගේ ජංගම දුරකථනයේ තිබුණු නිරැවත් ඡායාරෑප මම මාස කිහිපයකට පෙර දුටුවා. ඉතින් මම මොනවා කියන්නද ........... ?
සත්‍රී දූෂක මාධ්‍යවේදියාට නිසි දඩුවම් දෙනු කියලා මාතර පෝස්ටර් ගහල කියලා හවස ආරංචි වුනා. ඒ පෝස්ටර් ගැහුවේ කව්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. වරදකරැවන්ට කාලයාගේ ඇවෑමෙන් දඩුවම් ලැබේවි.

ජනවාරි 02 දා - පොලිස් නීතිය

අද දවසේ මොන විජ්ජුම්බරයක් වේවිද කියලා හිත හිතා අවදි වෙන කොට ආරංචි වුනා අධිවේගී මාර්ගයේ වැඩකරන විදේශිකයෝ වගයක් අපේ ගම්වල කෙල්ලන්ගේ නිරැවත් ඡායාරෑප අරගෙන රට යවලා කියලා. ඉතින් මේකට සම්බන්ධ කිහිප දෙනෙක්ම පොලීසියට ගේනව කියලත් ආරංචි වුනා. අනේ තකහනියක් අපි එ‍තැනට යනකොට කවුරැවත් නැහැ. පොලීසියේ හැමෝම කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා. අපිට විස්තර කිසිවක් හොයා ගන්න බැහැ. සමහරැ කියනවා ඕක පරණ සිද්ධියක්නේ කියලා. කොහොම වුනත් මට ආරංචිය දීපු හිතවතාට මම නැවත ඇමතුමක් ගත්තා. ඔහු පොලීසියට වඩා දේවල් දැනගෙන හිටියා. ඒත් ඔහු අවසානයට මෙන්න මෙහෙම කිව්වා.
මචං මේක යටගහන්න පොලීසිය ට්‍රයි කරනවා. ඒ නිසා අපි කොහොම හරි මේක හොයා ගනිමු.
අපි දන්නේ නැහැ පොලීසිය ඇයි වරද කරැවන් බේරන්න හදන්නේ කියලා.........................

ජනවාරි 01 දා - මාධ්‍ය මර්ධනය හා බදාගෙන කෑම

අපේම මාධ්‍යවේදීන් සමග වැඩ කරන්න ගියහම ඔලුව අවුල් වෙනවා. ඒ නිසා ටික කාලයක් ති‍ස්සේ හිතාගෙන හිටියා දිනපතා ලැබෙන මාධ්‍ය අත්දැකීම් පොතකට ගොනු කරන්න ඕන කියලා. ඒත් ඒකට කාලයත් වෙලාවත් හොයාගන්න බැරැව හිටියේ. දැන් ඉතින් ඒ වැඩේ මේ විදියට පටන් ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. මේ සටහන තියන්නේ ජනවාරි 05 වැනිදා. ඒත් ජනවාරි මාසයේ 01 වැනිදා ඉදල සිදුවූ වැදගත්ම සිදුවීම් කිහිපයක් මේ විදියට සටහන් කරන්න පුළුවන්වේවි කියලා හිතනවා. මොකද ඒ ටික මට තාම මතකයි.

ජනවාරි 01 දා

දවස උදාවුනේ පුදුමාකාර කලබගෑනි කිහිපයක පෙරනිමිති පල කරමින්. මීට මාස හතරකට පෙර මාතර දිස්ත්‍රික්කයේ එක්තරා පොලිස් ස්ථානාධිපති වරයෙක් හොර ලී තොගයක් අරගෙන තමන්ගේ ගෙදර හදන්න අරගෙන යද්දී ‍තවත් පොලීසියකට කොටුවෙලා. ඉතින් මේ සිදුවීම අපේ සහෝදර මාධ්‍යවේදියෙක් පත්තරේට ලියල තිබුණා. මේ ස්ථානාධිපති වරයා අපේ මාධ්‍ය සගයාට තර්ජනය කරල තිබුණා. උඹට හොදින් ඉන්න දෙන්නේ නැහැ කියලත් තිබුණා. ප්‍රතිඵලය ආවේ ඊයේ 31. තරැණියක් බලෙන් රැගෙන ගොස් දූෂණය කිරීම, රන් භාණ්ඩ පැහැර ගැනීම සහ නිරැවත් ඡායාරෑප ගැනීම යන චෝදනා යටතේ අපේ මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගත්තේ අර ස්ථානාධිපතිවරයා.
පැමිණිළිකාර කාන්තාව මාතර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා. අපේ මනුස්සයා ‍පොලිස් කූඩුවේ. 01 දවසේ වරැවක්ම ගතවුනේ මේ සිදුවීමට. ඔහු මෙයට වරදකරැ වුණොත් අවුරැදු 20 ක් පමණ බන්ධනාගාරයේ තපින්න වෙන බව අපි දැනගෙන හිටියා.
සුලමුල හොයාගෙන යනකොට කාන්තාව පිළිගත්තා ස්ථානාධිපති වරයාගේ උවමනාවට තමන් පැමිණිල්ලක් කළ බව. මාතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වරයා‍ගේ මැදහත් වීමෙන් සිදුවූ පරීක්ෂණයකට පසු අපේ මාධ්‍යවේදියා ඇප මත මුදා හැරියා. අනාගතයේදී කවුරැ වරදකරැ වේදැයි අපි දන්නෙ නැහැ. මාධ්‍ය මර්ධනයේ පුංචි පුංචි අතු ඉති හැමතැනම පැවෙලා
හවස්වරැව ගතවුණේ තවත් මාධ්‍ය සටනකට. ඒ අපේම සහෝදර මාධ්‍යවේදියෙක් කරපු වැරදි වැඩක් නිසා. දකුණු පළාතේ ප්‍රමුඛ මාධ්‍ය සංවිධානය කියලා සංවිධානයක් පටන් ගත්තේ 2005 දී. මේකේ සභාපති අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‍වේදියකු වන කමල් විජේහේවා. ඔහු අපේ සගයන්ට පොරොන්දු වුනා හැමෝටම ජංගම දුරකථන අරගෙන දෙනව කියලා. ඒකනම් නැති වුනත් කමක් නැහැ. ඒත් මේ සදහා පළාතේ ප්‍රධාන ඇමැති තුමාගෙන් රැපියල් ලක්ෂ දෙකක් ලැබුණා. සල්ලි ලැබිලා මාස පහක් යනකන් රැස්වීම කැදවන්නේ නැතුව අපේ සභාපති තුමා ජංගම පරිගණක හෙවත් ලැප්ටොප් දෙකක් මිලදී ගන්න සූදානම් වුනා. අපි මෙයට විරැද්දව ඇමැති තුමාට ලිපියක් භාර දුන්නා. උත්තරයක් නැහැ. අපි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළා. තවමත් උත්තරයක් නැහැ. අවසානයේ ඇමැති තුමාගේ ජංගම දුරකථනයට කථා කළා. අපි කිව්වේ ‍මේ උපකරණ පුද්ගලික පරිහරණය සදහා යොදවන්න එපා පොදු ස්ථානයක තබන්න කියලා. ඒකට දිස්ත්‍රික් ලේකම් තුමා තැනක් දෙන්නත් පොරොන්දු වුනා ඒත් ඇමති තුමාගේ මාධ්‍ය ලේකම් කියන්නේ රාජ්‍ය ආයතනයට ප්‍රතිපාදන දෙන්න බැහැ කියලා. ඒත් පුද්ගලයකුට ප්‍රතිපාදන දෙන්න පුළුවන්ලු. අවසානයේදී දේශපාලකයන්ගේ හිතවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ගෙන්වලා අර ලැප්ටොප් දෙක දුන්නා. අපි විරැද්ද වුනා. සභාපති තුමා මගේ බෙල්ල ගලවලා අතට දෙනවා කිව්වා. ඒ ඇමැති තුමාගේ හයිය වෙන්න ඇති. ඒත් ඔය කවුරැත් මැතිවරණයෙන් පස්සේ වෙනස් වෙනවා. ඒත් අපි මැරෙන තුරැ රස්සාව කරනවා. අපේ පෑන හොදට ශක්තිමත්. ගරැ ඇමති තුමනි ! ඔබ තුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව මාධ්‍යවේදීන් දෙදෙනකු වෙනුවෙන් ලබාදුන්නේ මහජන මුදල්. මේක මාධ්‍ය අයථා ලෙස පරිහරණය කරන්නත් මාධ්‍ය මර්ධනය කරන්නත් ගන්නා තවත් උත්සාහයක් ලෙසයි අපිටනම් පේන්නේ...........................