Saturday, January 30, 2010

ආයුබෝවේවා මහරජා‍ණනේ !


ජනාධිපති මහින්ද රාජපක්ෂ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකැර ගත්තේය. ඔහු පරදිනු ඇතැයි මුළු රටේම කථා පැතිරෙද්දී ප්‍රධාන ප්‍රතිවාදියාට වඩා ඔහු වැඩි ඡන්ද මිලියන 1.8 ක් හිමිකැර ගත්තේය. එය සැබැවින්ම විජයග්‍රහණයකි. එමෙන්ම රටේ බහුතර ජනතාව ඔහුට කළගුණ සළකා තිබේ.
මේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත්ය. ඒ කොටි ත්‍රස්තයන් පරාජය කිරීමෙන් පසු පැවැත්වූ පළමු ජනාධිපතිවරණය ජයගැනීම නිසාම පමණක් නොවේ. මෙරට මැතිවරණ ඉතිහාසයේ රටේ නායකයකු දෙවැනි වතාවට ඡන්දය ඉල්ලද්දී ජනප්‍රියත්වයෙන් වැඩිවූ බවක් පෙන්වන එකම අවස්ථාව බැවිනි.
ජනතාව තමන්ගේ නායකයා කෙරෙහි බලාපොරොත්තු තබා තිබේ. මෙය රටක කලකින් දැකිය නොහැකි ප්‍රවණතාවයකි. මැතිවරණ ප්‍රතිඵල වෙනස් කැර ඇතැයි විරුද්ධ පක්ෂය චෝදනා කරයි. එහෙත් එවැන්නක් කළ නොහැකි බව මම හොදා කාරවම දනිමි. ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයකු ලෙස සහභාගී වී පලපුරුද්දක් ඇති මගේ අත්දැකීම අනුව එවැන්නක් කිසිසේත්ම සිදුවිය නොහැක . මේ මිලියන 1.8 ක වැඩි ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරයාට අනිවාර්යයෙන්ම ලැබුණු ඡන්ද ප්‍රමාණයකි. එය විපක්ෂය කණගාටුවෙන් වුවද අකමැත්තෙන් වුවද පිළිගත යුතුය. ඡන්දය වෙනස් කළායැයි කියන චෝදනාව මුසාවකි. එය කළ නොහැක්කකි.
මේ වනවිට යම් රාජ්‍යයක ජනප්‍රියත්වයෙන් පිරිහෙන්නේ නැති නායකයකු සිටීනම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක්ම විය යුතුය. ජනතාව ඒ තරමටම ඔහු ගැන විශ්වාසය තබා ඇත.
ඔහුට විපක්ෂය බොහෝ චෝදනා එල්ල කරන ලදී. ඒ චෝදනා ගැන ජනතාව විශ්වාසය තබා නැත. චෝදනා කවරක් වුවද ජනාධිපතිතුමා ද තමන්ගේ ඉදිරි පාලන කාලයේදී කළ යුතු කටයුතු කිහිපයක් කරළියට පැමිණ ඇත.
ඉන් ප්‍රධාන වන්නේ සරත් ‍පොන්සේකාට රජයෙන් එල්ල කළ චෝදනා වලට නිසි දඩුවම් ලබා දීමයි .
දෙවැන්න යුද්ධයෙන් පසු තවමත් ජනතාවට පීඩනයක් වී ඇති ආර්ථික අපහසුතා වලට සහනයක් සැළසීමයි.
තෙවැන්න විපක්ෂයේ ප්‍රධාන චෝදනාව වූ දූෂණය නැති කිරීමයි.
එමෙන්ම ජනාධිපතිවරයාද පවසන පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.
තවත් ගැටළුවක් ඇත. දෙමළ ජනතාව තවමත් සිංහල ජනතාව සමග ඒකමිතියකට නොපැමිණෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දෙමළ, මුස්ලිම් ජනතාව ද දිනාගත යුතුව ඇත. මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාය. සුළු ජාතීන්ට ද මහින්ද ජනාධිපති වරයා හැර වෙනත් නායකයන් නොසිටිය යුතුය. අප එතැනට අනිවාර්යයෙන්ම යා යුතුව ඇත.

අවසාන වශයෙන් මෙය ද කිව යුතුය. පාලකයකුගේ ක්‍රියාකලාපය ඔහුට ඉතිහාසයේ හිමි තැන තීරණය කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ පතාක යෝධයාය. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පැහැදිලිය. ඔහු පැරදවිය හැකි ජගතෙකු නැත. එහෙත් ඔහු ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතමයා වීමට මා ඉහත කී සියල්ල සපුරාලිය යුතුව ඇත.

ජනපතිතුමනි. ඔබ පසුපස ජනතාව සිටින බව නැවතත් සනාථ කැර ඇත. ඔබට ඇති දැවන්ත ශක්තියද එයයි. ඔබට ඒ හැකියාව ඇති බව අපි දනිමු. රටට සුබ අනාගතයක් උදා කරන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.

Friday, January 22, 2010

මට හමුවූ අරුම පුදුම ගැහැණිය

මේ කාන්තාව මට හමුවූයේ 21 වැනිදා සවස හබරාදුවේ පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දැක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. බලපිටිය ප්‍රදේශයෙන් පැමිණි ඇය තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය. ඇයගේ වචන වලින්ම මම එය මෙසේ සටහන් කරමි.
ජේ.වී.පී. එකේ දැන් ඉන්න අය පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දුන්නා. 89 භීෂණ කාලේ යූ.එන්.පී. එක මගේ මල්ලිව මැරැවා මාව සිරගත කලා. මම අවුරැදු දෙකක් හිරගෙදර ඉදලා ආවේ. මේ සෝමවංශලා දැන් යූ.එන්.පී . එකත් එක්ක එකතුවුනේ තමන්ගේ වාසියට අපේ මුළු සටනම පාවා දුන්නා. විජේවීර සහෝදරයා කියපු කරපු දේ කිසිවක් මේ අය තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. ඒ නිසා මම පක්ෂයෙන් ඉවත් වුනා. මම තීරණය කළා පක්ෂයෙන් ඉවත් වී ජනාධිපතිතුමාට සහය දක්වන්න. මේ කුමන්ත්‍රණ කාරයෝ මගේ ඡන්ද අයිතියත් නැති කරලා. අඩුම ගණනේ පක්ෂය වෙනුවෙන් තම සොහෝදරයාගේ ජීවිතය අහිමිකරගත්තු අවුරැදු දෙකක් හිරබත් කාපු මට ඡන්ද අයිතියත් නැති කරලා. මට මෙවර ඡන්දය දාන්න හැකියාවක් නැහැ. මගේ නම ඡන්ද හිමි නාමලේඛණයෙන් කපා හැරලා. ඇය මේ සියල්ල කීවේ හඩා වැළපෙමිණි.
ඇයගේ එම කථාව අවසන් වූ පසු මම පහත සදහන් ප්‍රශ්න කිහිපය ඇගෙන් ඇසුවෙමි.

ප්‍රශ්නය . ඔබ හිරෙන් නිදහස් වූ බව කීවා. පක්ෂයට කැපවූ බව කීවා ඔබ පක්ෂයෙන් ඉවත්වීමට පෙර එහි නායකත්වය සමග මේ ගැන සාකච්ඡා කළේ නැද්ද ?

පිළිතුර . මම 91 නිදහස ලබා ආ පසු පක්ෂයේ ක්‍රියාකාරීත්වයෙන් ඈත් වෙලා සිටියේ. පසුව පක්ෂයේ නායකත්වය සමග සම්බන්ධතාක් තිබුණෙ නැහැ.

ප්‍රශ්නය . ඔබගේ වෘත්තිය කුමක්ද ?

පිළිතුර . මම පෙරපාසල් ගුරැවරියක්. 2000 වර්ෂයේ විදෙස් ගතවුනා. නැවත ආවේ අවුරැදු 06 ට පසුවයි.

ප්‍රශ්නය . ඔබ නැවත පැමිණි පසු පක්ෂය සමග සම්බන්ධතාවක් තිබුණේ නැද්ද ?

පිළිතුර . ටිකක් අඩු සම්බන්ධයක් තමයි තිබුණේ.

ප්‍රශ්නය . ඒ කියන්නේ ඔබ පක්ෂයේ ක්‍රියාකාරිකයකු නොවෙයි. අද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකාවක් ලෙස පෙනී සිටිමින් ජනාධිපතිතුමාට සහය දක්වන බව කීවත් ඔබ 91 න් පසු පක්ෂයේ ක්‍රියාකාරිකයකු වී නැහැ.

පිළිතුර . මම පක්ෂයේ ක්‍රියාකාරී නොවුනත් පක්ෂය සමග දිගටම සිටියා.

ප්‍රශ්නය . යමකු හිතාමතාම ඔබගේ ඡන්ද අයිතිය අහිමිකැර ඇත්නම් ඒ ගැන අපටත් ‍සොයා බැලිය හැකියි. නමුත් ඔබේ චෝදනාව සාධාරණ විය යුතුයි.

පිළිතුර . ඔව් සාධාරණයි. මට ඡන්ද අයිතිනය නැති කළා.

ප්‍රශ්නය . මම ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමාසාරිස් වරයාගෙන් මේ ගැන විමසනවා. ඔබට ස්ථිර ද ඔබ මේ චෝදනාව කළත් ඔබට ඡන්දය අහිමිවී ඇත්තේ ඔබ විදේශගත වීම නිසා ඔබේ නිවැසියන් ඡන්ද හිමි නාමලේඛණයේ ඔභ විදෙස් ගතවී සිටින බව සටහන් කළ නිසා නොවන බව.

පිළිතුර . සමහර විට ඒ අය එලෙස සටහන් කරන්න ඇති කියා.

ප්‍රශ්නය . එසේනම් ඔබ කරන ලද චෝදනාව අසත්‍යයක්

පිළිතුර . ඔයාලා අපි කියන දේවල් ඔක්කොම දානවාද ?

මම . ඔබ යම් චෝදනාවක් කරනවානම් මාධ්‍යමගින් එය ප්‍රචාරය කරන්නේ එය සත්‍යනම් පමණයි.
මම කැමතියි ඔබේ සිරගත ජීවිතය ගැන ලංකාදීප දියතට ලිපිපෙලක් ලියන්න. ඔබ කැමතිනම් මට ඒ අවස්ථාව දෙන්න පුළුවන් ද ?

පිළිතුර . මම මහත්තයාගෙන් අහලා කියන්නම්.

සාකච්ඡාව එතැකින් අවසන් කැරැණි. මම නැවත නිවෙස බලා එද්දී ඇය උණවටුනේ පැවැති ජනාධිපතිවරයාගේ රැස්වීමක වේදිකාවේ සිටියාය. එහිදී ඇය පෙනී සිටියේ බලපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවටත් ඉන්පසුව පළාත් සභාවටත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරියක ලෙසිනි. ඇය කියන්නේ මුසාවකි. නමුත් ඇයට ඒ සම්බන්ධයෙන් කිසිදු හිරිකිතයක් නැත.
මෙවැනි පුද්ගලයන් යොදාගෙන රගපෑම් සිදුකරමින් ඡන්දය ජයගන්නට තරම් අපේ ජනාධිපතිතුමා බංකොලොත්වී ඇතැයි ජනතාවට ඒත්තු ගියහොත් සිදුවන්නේ එතුමාට බරපතල හානියකි.

Thursday, January 14, 2010

දූෂණ අනාවරණය කළාට කටඋත්තර දීමට සිදුවීම

ඊයේ සවස කව්දෝ පුද්ගලයන් දෙදෙනෙක් අපේ ගෙදර ඇවිල්ලා මගේ නම කියලා කථා කළා. ‍මම එළියට ගියා විතරයි මෙන්න බොලේ මෙයාලා කියනවා අපි සී.අයි.ඩී. එකෙන්ලු. මට ඒ අය නුහුරැ නුපුරැදු අයත් නෙවෙයි. මොකද එයාලා මම යන එන තැන් කථා කරන දේවල් කියන කරන සියළුම දේ ගැන හොද සෝදිසියකින් ඉන්න බවත් මම දන්න නිසා. ඒ විතරක් නෙවෙයි දැන් සී.අයි.ඩී එකේ ගොඩක් අයව අප අදුනනවා. ඒ ඉතින් අපේ රස්සාවෙ හැටි තමයි.
මෙයාලා මට කොලයක් පෙන්නලා අහනවා මේ කොලේ සිරස ටී.වී. එකට යැව්වේ ඔයාද කියලා. මම ගත් කටටම කිව්වා ඔව් කියලා. මගෙන් කට උත්තරයක් ගන්න ඕනෑලු.
පසුගිය 12 වැනිදා රාත්‍රී 7.00 ට සිරස පුවත් විකාශනයේදී පොලිස්පති තුමාගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා ඔබ සියළු දෙනාම දකින්න ඇති. ඒ ඇහුවේ ගාල්ලේ පොලිස් අධිකාරී කාර්යාලයෙන් සියළුම පොලිස් ස්ථානාධිපතිවරැන්ට යවා තිබුණු පැක්ස් පණිවිඩයක් ගැන. ඒ පණිවිඩයෙන් කියා තිබුණේ කළගුණ සැළකීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න කියලා.
මේ ලිපිය මම දැක්කේ උඩුගම පැවැති ජනරාල් සරත් පොන්සේකා ගේ රැස්වීමේදී එදා චන්ද්‍රසේන විජේසිංහ මන්ත්‍රීවරයා මේ ලිපිය ඉදිරිපත් කරමින් කථාකළා. මම ඒ මන්ත්‍රීවරයාගෙන් ලිපියේ පිටපතක් ඉල්ලාගත්තේ මේ ඉදිරිපත් කිරීමට ලිඛිත සාක්ෂියක් මාධ්‍යවේදියකු වන මට අවශ්‍ය නිසා.
මම සිරසට කැසට් පටිය යැව්වහම එහේ හිටපු නිලධාරියෙක් මට කිව්වා ඒ ලිපිය එවන්න කියලා. මම ඒක පැක්ස් කරා. ඒ ලිපිය තමයි එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස්පති වරයාට ලැබුණේ. ප්‍රතිඵලය වුනේ රහස් පොලීසිය ඒ ලිපියේ තිබුණු පැක්ස් කරපු අංකය හොයාගෙන ඇවිත් මාව සොයා ගැනීම මගෙන් ඇහුවේ පොලීසියේ කාගෙන්ද මේ පැක්ස් පණිවුඩය ලැබුණේ කියලා. මම ඉතින් මට ලිපිය ලැබුණේ චන්ද්‍රසේන විජේසිංහ මන්ත්‍රීවරයාගෙන් බව කිව්වා.
ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. කිසිම රටක මාධ්‍යවේදීන්ගෙන් තමන්ට තොරතුරැ ලැබුණේ කොහෙන්ද කියලා ප්‍රශ්න කරන සිරිතක් නැහැ. මාධ්‍ය නිදහසක් තියෙනවා. අපේ රටේ මාධ්‍ය නිදහස වලපල්ලට ගිහින් බව මේකෙන් නැවත වතාවක් තහවුරැ වෙනවා. පසුගිය දකුණු පළාත් සභා මැතිවරණය ආරම්භ වූවාට පසුව මගෙන් රහස් පොලීසිය තුන් වතාවක් ප්‍රශ්න කළා. පොලීසිය එක් වතාවක් ප්‍රශ්න කළා. මාධ්‍ය නිදහසේ උපරිමය වෙන්න ඇති ඒ.
තවත් ප්‍රශ්නයක් තියෙනවා. මාධ්‍යමගින් පොලීසියේ සිදුවූ අක්‍රමිකතාවයන් හෙළිකරාම ඒ අක්‍රමිකතා කරපු නිලධාරියාට දඩුවම් නොදී ඔහුට නීතිය ක්‍රියාත්මක නොකර ඒ හෙළිකිරීමට දායක වූ අයගෙන් ප්‍රශ්න කිරීම ගැටළුවක්.

Monday, January 4, 2010

මැතිවරණය



මැතිවරණ උණුසුම දැන් හැමතැනකටම දැනෙන්නට පටන් අරගෙන. දකුණු පළාතේ මේක විශේෂයි. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධානතම අපෙක්ෂකයන් දෙදෙනාම දකුණු පළාතේ වීම මෙයට හේතුවක් වී ඇතැයි ද සිතිය හැකියි. ඒ වගේම දැනට වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ද දකුණු පළාතෙන්.
කොහොම වුනත් ගාල්ල ගත්තොත් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම නම් එළිපිටම සිදුවන බවයි පෙනෙන්නට තිබෙන්නේ.
ගාල්ල පොලීසිය ඉදිරිපිට එක්තරා අපේක්ෂකයකුගේ විශාල ප්‍රමාණයේ දැන්වීම් සවිකරලා තිබෙන ආකාරය දකින්නට පුළුවන්. මේ දැන්වීම් ගලවන්න තමන්ට කම්කරැවන් නැතැයි කියන පොලීසිය ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට පොලිස් මුරකාවල් පවා යොදලා. පොලීසිය ක්‍රියාත්මක වන්නේ රජය කියන විදියට නිසා එහෙම නොකර බැරැව ඇති. ඉතින් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ ඒවා වළක්වන් ඉන්න නීතිය සාධාරණය ගොඩනගන්න ඉන්න පොලීසියම නිසා අපිට ඇතිවන්නේ දැඩි පිළිකුලක්. මේවා ගැන බුද්ධිමත්ව හිතලා හොද තීරණයක් ගැනීමේ අවස්ථාව අපිට ජනවාරි 26 දා උදාවෙනවා.