Tuesday, January 3, 2012

නව වසර උදාවුනා

ජනවාරි 01

අළුත් අවුරුද්ද උදාවුනා. මේක කැලැන්ඩර් වර්ෂයක ආරම්භය. කැලැන්ඩරය කියන්නේ අවස්ථා ගණනාවක් වෙනස්කම් වලට භාජනය වෙලා නිර්මාණය වුනු දෙයක්. දැන් මුළු ලෝකයම එකම කැලැන්ඩරයක් පිළිගත්තත් අපි කොහොමද දන්නේ ඉස්සර අවුරුද්දට තිබුණේ දින 365 ක්මද කියලා.
කොහොම වුනත් අළුත් අවුරුද්ද කියන්නේ වෙළෙන්දන්ගේ නිර්මාණයක් කියලයි මටනම් හිතෙන්නේ. අවුරුද්ද ඒ තරමටම වාණිජ්‍ය වෙලා.
අද පළමුවැනිදා කියලා මටනම් විශේෂ වැඩක් තිබුණේ නැහැ. උදේ පත්තරේට ලිපි දෙක තුනක් ලියන්න කරුණු හෙව්වා. හවස තිබුණා එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් කතළුව හන්දියේ. මෛත්‍රී ගුණරත්න මහතාගේ සංවිධානත්වයෙන්. රනිල් වික්‍රමසිංහට විරුද්ධව තිබුණු මේ රැස්වීමට සිරස නාලිකාවත් සහභාගීවෙලා තිබුණා. ඔවුන්ට රනිල් වික්‍රමසිංහ ප්‍රධානය කරපු ගලත් අරගෙන රට වටේ යන්න පටන් අරගෙන.
මෙතන කැපී පෙනුනු චරිතයක් තමයි සෝම අක්කා.
සෝමා අක්කා කියන චරිතය එක්සත් ජාතික පක්ෂයේ ගාල්ලේ රැස්වීම් වාර්තා කරන ඕනම කෙනෙක් දන්නවා.
ඇය පක්ෂය වෙනුවෙන්ම කැප වෙලා ඉන්නවා. හබරාදුව ආසනයට පක්ෂයෙන් මොන සංවිධායක ආවත් එයා වෙනුවෙන් දිවි හිමියෙන් වැඩකරන සෝම අක්කාට එක්සත් ජාතික පක්ෂයෙන් ලැබුණු දෙයකුත් නැහැ. එයා දන්නේ අලියා හොදයි. කොළ පාට හොදයි . අපි කැපුවත් කොළ කියන්න විතරයි. රටේ දේශපාලන ප්‍රවාහය ගැන, ආර්ථිකය ගැන කිසිම දැනුමක් එයාට නැහැ. ඒ අහිංසක සෝම අක්කාට විතරක් නෙවෙයි රටේ බහුතරයකට මේ දැනුම නැති නිසා තමයි අපිට මේ තරම් කෙල වෙලා තියෙන්නේ

ජනවාරි 02

අද පත්තරේ අද දවසට නොමිළේ බෙදනවා. මමත් නොමිලයේම එකක් ගත්තා. අළුත් පත්තරේට තියෙන්නේ අළුත් මුහුණුවරක්. දැකපු ගමන්ම ආස හිතුනා. ඇත්තටම ඒකට ගොඩක් දේවල් ලියන්න පුළුවන් කියලා හිතුන නිසා දවල් වෙලා පත්තර කන්තෝරුවට කෝල් කරලා ප්‍රධාන කර්තෘ කාංචන දසනායක සම්බන්ධ කර ගත්තා. ‘‘අපිට ලංකාදීපෙ රාමුවෙන් වෙනස් වෙන්න කියලා තියෙන්නේ. ඒ නිසා තවම ලංකාදීපයේ අයත් එක්ක වැඩ කරන්න පටන්ගත්තේ නැහැ.‘‘ ඔහු එහෙම කිව්වා.
ඇත්තටම ඒක හොද දෙයක් කියලා මට හිතෙනවා. අපේ බොහොමයක් මාධ්‍යවේදීන් පත්තර කිහිපයකට විවිධ නම්වලින් ලියනවා. ඒ නිසා හැම පුවත් පතේම යන්නේ එකම ලිපිය. ඇතැම් අය මීට මාස කිහිපයකට පෙර එක පත්තරයකට ලියපු විශේෂාංගය පොඩ්ඩක් වචන එහා මෙහා කරලා තවත් එකකට ලියනවා. තව සතියකින් දෙකකින් තවත් එකකට ඒකම ලියනවා. මේක ලොකු වරදක්. එහි ප්‍රතිඵල භයානකයි. ඒ නිසා විජය පුවත් පත් සමාගමෙන් ආරම්භ කරපු අද පුවත්පතේ ස්ථාවරය හොදයි කියල මම හිතනවා.

ජනවාරි 03

අද උදේම කිතුලම්පිටිය ආනන්ද විදුහලේ ළමුන් සහ දෙමාපියන් පිරිසක් පාරට බැහැලා. ඔවුන් තමන්ගේ පාසල යළිත් ඉල්ලනවා. ආනන්ද විද්‍යාලයේ හයවැනි වසර ඊයේ සිට ඉවත් කරලා. ඊයේ පාසල් ගියාට පස්සේ තමයි ඒ ළමයි දන්නේ තමන්ට පාසලේ ඉඩක් නැති බව. ඔවුන්ට වාඩිවෙන්න පුටුවක් නැහැ. උගන්වන්න ගුරුවරයෙක් නැහැ. අද දෙමාපියන් සමග මේ ළමුන් එළියට බැහැලා. ඔවුන්ට උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයට යන්න සිදුවෙනවා කියා දෙමාපියන් මැසිවිලි නගනවා. මේ අවස්ථාව වාර්තා කරන්න අපේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම ගිහින් හිටියා.
මෙතෙන්දී අපේ අය අනුමත කළ නොහැකි දේවල් කරනවා. කොහේ හරි පාසලක් වෙනුවෙන් යම් පිරිසක් උද්ඝෝෂණය කරනවානම් විද්‍යුත් නාලිකා වලින් කියන්නේ ලොකු දෙයක් වුනේ නැතොත් වැඩක් නැහැ කියලා . දැන් අපේ අය මේ අහිංසක මිනිසුන් ලවා ලොකු දේවල් කරවනවා. අදත් ඒ දේම වුනා. අහිංසක විදියට පාසල ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුණු අය කලේගානේ පිහිටි කලාප කාර්යාලයට ගියේ පා ගමණෙන්. විද්‍යුත් නාලිකා වලට මේ නිසා හොද රූප රාමු ලැබුණා.
ඒ වගේම ටික වේලාවකින් පාර මැද ටයර් කිහිපයක් ගිනිබත් වුනා. ටයර් ගිනි තියපු එක පිටිපස්සෙත් අපේම මාධ්‍යවේදියෙක් ඇති කියල තමයි මට හිතෙන්නේ.