Saturday, January 30, 2010

ආයුබෝවේවා මහරජා‍ණනේ !


ජනාධිපති මහින්ද රාජපක්ෂ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකැර ගත්තේය. ඔහු පරදිනු ඇතැයි මුළු රටේම කථා පැතිරෙද්දී ප්‍රධාන ප්‍රතිවාදියාට වඩා ඔහු වැඩි ඡන්ද මිලියන 1.8 ක් හිමිකැර ගත්තේය. එය සැබැවින්ම විජයග්‍රහණයකි. එමෙන්ම රටේ බහුතර ජනතාව ඔහුට කළගුණ සළකා තිබේ.
මේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත්ය. ඒ කොටි ත්‍රස්තයන් පරාජය කිරීමෙන් පසු පැවැත්වූ පළමු ජනාධිපතිවරණය ජයගැනීම නිසාම පමණක් නොවේ. මෙරට මැතිවරණ ඉතිහාසයේ රටේ නායකයකු දෙවැනි වතාවට ඡන්දය ඉල්ලද්දී ජනප්‍රියත්වයෙන් වැඩිවූ බවක් පෙන්වන එකම අවස්ථාව බැවිනි.
ජනතාව තමන්ගේ නායකයා කෙරෙහි බලාපොරොත්තු තබා තිබේ. මෙය රටක කලකින් දැකිය නොහැකි ප්‍රවණතාවයකි. මැතිවරණ ප්‍රතිඵල වෙනස් කැර ඇතැයි විරුද්ධ පක්ෂය චෝදනා කරයි. එහෙත් එවැන්නක් කළ නොහැකි බව මම හොදා කාරවම දනිමි. ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයකු ලෙස සහභාගී වී පලපුරුද්දක් ඇති මගේ අත්දැකීම අනුව එවැන්නක් කිසිසේත්ම සිදුවිය නොහැක . මේ මිලියන 1.8 ක වැඩි ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරයාට අනිවාර්යයෙන්ම ලැබුණු ඡන්ද ප්‍රමාණයකි. එය විපක්ෂය කණගාටුවෙන් වුවද අකමැත්තෙන් වුවද පිළිගත යුතුය. ඡන්දය වෙනස් කළායැයි කියන චෝදනාව මුසාවකි. එය කළ නොහැක්කකි.
මේ වනවිට යම් රාජ්‍යයක ජනප්‍රියත්වයෙන් පිරිහෙන්නේ නැති නායකයකු සිටීනම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක්ම විය යුතුය. ජනතාව ඒ තරමටම ඔහු ගැන විශ්වාසය තබා ඇත.
ඔහුට විපක්ෂය බොහෝ චෝදනා එල්ල කරන ලදී. ඒ චෝදනා ගැන ජනතාව විශ්වාසය තබා නැත. චෝදනා කවරක් වුවද ජනාධිපතිතුමා ද තමන්ගේ ඉදිරි පාලන කාලයේදී කළ යුතු කටයුතු කිහිපයක් කරළියට පැමිණ ඇත.
ඉන් ප්‍රධාන වන්නේ සරත් ‍පොන්සේකාට රජයෙන් එල්ල කළ චෝදනා වලට නිසි දඩුවම් ලබා දීමයි .
දෙවැන්න යුද්ධයෙන් පසු තවමත් ජනතාවට පීඩනයක් වී ඇති ආර්ථික අපහසුතා වලට සහනයක් සැළසීමයි.
තෙවැන්න විපක්ෂයේ ප්‍රධාන චෝදනාව වූ දූෂණය නැති කිරීමයි.
එමෙන්ම ජනාධිපතිවරයාද පවසන පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.
තවත් ගැටළුවක් ඇත. දෙමළ ජනතාව තවමත් සිංහල ජනතාව සමග ඒකමිතියකට නොපැමිණෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දෙමළ, මුස්ලිම් ජනතාව ද දිනාගත යුතුව ඇත. මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාය. සුළු ජාතීන්ට ද මහින්ද ජනාධිපති වරයා හැර වෙනත් නායකයන් නොසිටිය යුතුය. අප එතැනට අනිවාර්යයෙන්ම යා යුතුව ඇත.

අවසාන වශයෙන් මෙය ද කිව යුතුය. පාලකයකුගේ ක්‍රියාකලාපය ඔහුට ඉතිහාසයේ හිමි තැන තීරණය කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ පතාක යෝධයාය. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පැහැදිලිය. ඔහු පැරදවිය හැකි ජගතෙකු නැත. එහෙත් ඔහු ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතමයා වීමට මා ඉහත කී සියල්ල සපුරාලිය යුතුව ඇත.

ජනපතිතුමනි. ඔබ පසුපස ජනතාව සිටින බව නැවතත් සනාථ කැර ඇත. ඔබට ඇති දැවන්ත ශක්තියද එයයි. ඔබට ඒ හැකියාව ඇති බව අපි දනිමු. රටට සුබ අනාගතයක් උදා කරන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.