Sunday, April 25, 2010

මගේ අළුත් පොත් - කාන්තාරයේ දරුවෝ

මානව කාන්තාරයේ දරැවවෝ කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.

අප්‍රිකානු කාන්තාවෝ එවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්මඡේදනය නමැති ව්‍යසනයට ගොදුරැ වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සදහ චර්මධේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වහයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘතිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්මඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව ඔවුන් තුළ කිස්යම් පරමාධ්‍යාශයක් නැතිනම් කල්පිතයක් තිබබෙන බවයි. ස්ත්‍රී චර්ම ඡේදනය ගැන කතාකරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදුවන්නේ පුරැෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේ ද ? යුරෝපය තුළ ද පුරැෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැතිනම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සදහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද ?

ෂල්මන් රෂ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. "ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරැ ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත". පන්තූරයෙන් පිටතට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.



පරිවර්තනය - රංජිත් කුරුප්පු

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්, සුරස පොතක්

මිල - රු.225.00

ISBN 978-955-1822-66-8



පරිවර්තකගේ වෙනත් පරිවර්තන

මරණයේ දොරටුව

යුද්ධයේ අතුරු කතාවක්

හිට්ලර්ගේ අවසානය

කාන්තාරයේ කුසුම

ගිනි මැද සක්මන

කළු මුද්දේ අභිරහස

කළු මුද්දේ අභිරහස



සිංහලයේ ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ GOOSEBUMPS කතා පොත් පෙළ ලියූ අර්.එල්.ස්ට්න්ගේ "HORRORS OF THE BLACK RING" නම් ප්‍රකට කතාවක සිංහල පරිවර්තනය "කළු මුද්දේ අභිරහස" නමින් ප්‍රකාශයට පත් වී තිබේ.

දරුවන් තුළ කියවීමේ පුරුද්ද ඇති කිරීමේලා ප්‍රධාන සාධකය වනුයේ ඔවුනටම උචිත භාෂාවකින්, ඔවුන් සිත් ඇද ගන්නා කතාවක් ඉදිරිපත් කිරීමය. සැබෑ ලොව යතාර්ථයන් හි, අත්දැකීම් විදීමට පෙර ළමා මනස ආකර්ෂණය කරගත හැකි අත්දැකීමක් ඔවුනට තිළිණ කිරීමට ගත් පරිවර්තකගේ උත්සාහය ඇගැයිය යුතුය.



පරිවර්තනය - සුධර්මන් සතරසිංහ

ප්‍රකාශනය - ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ් , සුරස පොතක්

මිල - රු.175.00

ISBN 955-1188-54-3

මගේ අළුත් පොත් - අපේ ගම මාතර

මාතරට නුදුරු ගමක උපතලැබූ කතුවරයා කල් ගතවේද්දී මාතරට සමුදී වෙනත් නගරයක පදිංචියට ගිය පසු තමන් දුටු මාතර ගැන ලියූ ග්‍රන්ථයකි. මව්බිම අතහැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝ දෙදනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමම්ෙ හැම දෙයක්ම සුන්දරය. කෑ බිව් හැම දෙයක්ම සුමිහිරිය. ඇසට දුටු හැම දසුනක්ම මනහරය. මව්බිම නොව උපන්ගම අත්හැර දමා වෙනත් නගරයක පදිංචියට ගිය කතුවරයා එක්දහස් නමසිය පනස් ගණන් වලදී මාතර දුටු අයුරු ඔහුගේ සිතේ ඇදී ඇති ආකාරයෙන් මෙහි සටහන් තබා ඇත.

කතුවරයා පවසන්නේ තමන් ග්‍රන්ථයේ සටහන් තබා ඇති ඇතැම් චරිත පිළිබදව එහුගේ මතකයෙහි පටලැවිල්ලක් තිබිය හැකි බවයි. එමෙන්ම මාතර පැවැති කුල භේදය ගැන මෙහි විවෘතව කථා කර තිබේ. ඇතැම් සිද්ධි හා පුද්ගලයන් ගැන ඔහු ලියන දේවල් හේතුවෙන් යමකුට චිත්ත පීඩාවක් ඇතිවේයැයි සිතෙන විට ඒ නම් යම් පමණකින් වෙනස් කළ බවද කතුවරයා සදහන් කොට තිබේ.



ලේඛකයා - සමරසිංහ ගුණසේකර

ප්‍රකාශනය - සුනෙර ප්‍රකාශකයෝ

මිල - රු.260.00

ISBN 978-955-9128-93-9





සමරසිංහ ගුණසේකර මහතා

සමරසිංහ ගුණසේකර මහතා මාතර රාහුල විද්‍යලයෙන් මූලික අධ්‍යාපනය ලබා තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසුණේය. කොළඹ , විද්‍යොදය යන දේශීය විශ්වවිද්‍යාලවලද එක්සත් රාජධානියේ හැරියට් වොට්, ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් යන විදෙස් විශ්වවිද්‍යාල වල උසස් අධ්‍යාපන ලබා ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු ග්‍රන්ථ රැසක් සිංහලයට පරිවර්ථනය කරන ලද ගුණසේකර මහතා නීතිඥයෙකි.



කතුවරයාගේ වෙනත් පොත්

තනි කූඹියා

ගහකොළ අපේ යාළුවෝ

අමුතු වැඩට කැමති අයට

පමා වුණත් එමි අකුරටමෙන්න අපේ අමුතු සේන

හිනායන කතාවක්,

එයි අම්මා විගසකිනේ

Saturday, April 24, 2010

සැරසේන් ! එලවේන ! යා........... !!!!!!!!!!!!!!!

ඔන්න බොලේ මටත් ආවා මැරතන් තරගයට තහවුරැ කිරීමේ සටහන. දැන් මමත් සූදානම් මැරතන් දුවන්න. ඒත් ඉතින් වැස්ස තමයි බාධකය. මේ දවස් ටිකේම අනෝරා වැසි වසිනවා. වැස්සත් එකක් ඉතින් විදුලි කෙටීම. විදුලි කොටන විට ඉතින් අන්තර්ජාල සම්බන්ධතාවත් ඉවරයි. කාලගුණය යහපත් තත්ත්වයක තිබුණොත් මමත් තරග කරනවා. කමක් නෑ පහු වෙලා හරි තරගයට එකතුවෙන්න ලැබුණොත් ඒකත් හොදයිනේ........... කාලගුණය යහපත් වුණ ගමන්ම මාත් එනවා.

Tuesday, April 6, 2010

ප්‍රතිපත්ති ගැන නොසිතා දෙන ඡන්දය - 2

අපේ රටේ ඡන්ද දායකයෝ තමන්ට ලැබී ඇති සර්වජන ඡන්ද බලය කියන දේ පාවිච්චි කරන ආකාරය ගැන මම ලබපු අත්දැකීම් සටහන් කරන දෙවැනි අවස්ථාවයි මේ. මගේ යාළුවෙක් ඉන්නවා. එයා මුස්ලිම් ජාතිකයෙක්. හරිම හිත හොද මනුස්සයා. මෙයා මට කියනවා මුස්ලිම් කොන්ග්‍රසය එකතුවෙන්නේ මොන පක්ෂයටද මම ඒ පක්ෂයට ඡන්දය දෙන්නේ නෑ කියලා. මම කිව්වා උඹනම් මාර බඩුවක්නේ ඇයි ඒ කියලා. අනේ මන්දා එදා ඉදලම මට උන්ව පේන්න බැහැ කියලා තමයි මිනිහා උත්තරදුන්නේ. එයාට පැහැදිලි හේතුවක් නැහැ.
මට මේ ලගදී දවසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉතාමත්ම ජනප්‍රිය තරුණ අපේක්ෂකයකුගේ නිවසේදී (තරුණයි කිව්වට 40 පැනලා) ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෙක් හමුවුනා. මිනිහා මාව දැකලා ටිකක් වසන් වෙන්න උත්සාහගත්තත් මම එයා එක්ක කතා කළා.
මල්ලී මොකද මෙහේ. මම ඇහුවා.
ගෙදරින් බේරුමක් නෑ අයියේ.... රස්සාවක් හොයාගන්න කියලා. අම්මලාගෙන් වදේ කොහොම හරි මෙතුමාට සෙට් වෙලා දිනුවම රස්සාවක් හොයා ගන්න කියලා කියනවා. ඒ නිසා මම ආවා.
මේ පුද්ගලයා ඒ අපේක්ෂකයා වෙනුවෙන් ගෙයින් ගෙට ගියා දින දහයකට වඩා. ඔහු බලාපොරොත්තු වෙන්නේ රැකියාවක්. ඒත් අර අපේක්ෂකයා මන්ත්‍රීවෙලා ඇමති කෙනෙක් වුනත් රස්සාවක් දේවිද ?
මේ පාර ඔයාගේ ඡන්දේ බුලත් කොලේට නේද මම ඇහුවා.
හිනාවෙලා මගේ කණට කොදුරලා මිනිහ කිව්වේ. පිස්සුද අයියේ මුන්ට වැඩකරනවා කියලා පෙන්නලා කුසලානෙට ඡන්දෙ දෙනවා
අපේ පත්තර කාරයෙක් ඉන්නවා. අහින්සක මනුස්සයා. මිනිහා කියන්නේ එයා රජයේ මාධ්‍යවේදියෙක් කියලා. මෙයා පසුගිය පළාත් සභා මැතිවරණයේදී හිටපු සහ වර්තමාන මහ ඇමතිවරයාට විරුද්ධව ඡන්ය දුන්නා විතරක් නෙවෙයි හැමතැනම ඔහුව විවේචනය කරමින් ගියා. ඒත් ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට බැහැලා වැඩ. දැන් පොදු පෙරමුණට බැහැලා වැඩ. මම ඇහුවා මේ ඇයි කියලා. එයා කොහොමත් ශ්‍රී ලංකා කාරයාලු. මහ ඇමතිතුමාගෙන් දූට රස්සාවක් ඉල්ලුවාලු ඒක දුන්නේ නැති නිසා විරුද්ධව වැඩ කළාලු. ඒත් පක්ෂය දිනවනවාලු.
මේ තවත් පත්තර කාරයෙක් විදෙස් රටක සේවය කරලා මෑතකදී ලංකාවට ආපු මෙතුමා අපත් සමග එක්තරා අපේක්ෂකයකුගේ රාත්‍රී සුහද හමුවකට සහභාගී වුනා. මාධ්‍යවේදීන් හැටියට අපි කාටවත් කඩේ යායුතු නැහැ. ඒ වගේම කවුරැ දිනුවත් පැරදුනත් අපිට කමක් නැහැ. මේ අපේක්ෂකයා කතාවක් පවත්වලා ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදින්ට අවස්ථාව දුන්නා. මෙන්න අපේ මේ කියපු සහෘදයා නැගිට්ටා. ඔබතුමා තමයි ලැයිස්තුවේ පළමු වෙනියා. ඒ වගේම අපි ඔබතුමාට ඇමතිකමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කියමින් මාර සුදු හුණු ගෑමක් කළා. එයා නැවැත්තුවා විතරයි තවත් එක්කෙනෙක් නැගිට්ටා. එයත් කියන්න ගත්තා තමන්ට අපේක්ෂකයාගේ පියාගෙන් ලැබුණු උදව් සහ ඒවාට තමන් කළ කෘතගුණ සැළකීම් මුන් දෙන්නාම මාධ්‍ය ජීවිතයම පාවලා දෙද්දී අපි නැගිට්ටා. අපි දෙන්නෙක් නැගිටලා එළියට බහින කොට අපේ පිටිපස්සෙන් තවත් 20 ක් විතර කොන්ද පණ තියෙන මාධ්‍යවේදීන් ආවා. අර දෙන්නා මතක ඇති කාලෙකනම් ආපහු ඒ වගේ වැඩක් කරන එකක් නැහැ. අපි ඒ අපේක්ෂකයා එක්ක අමනාපයක් නැහැ. ඒත් කරන්න තිබුණු හොදම දේ ඒ වෙලාවේ කළා.
මට තවත් අපූරු පුද්ගලයෙක් මුණ ගැසුණේ ගාල්ලේ ටිකක් දුෂ්කර ගමකදී මේ මනුස්සයාගේ ගෙදරට අපි ගොඩවුනේ වැස්සකට. මෙයාට වයස අවුරුදු 75 ක් විතර ඇති. එයා ඡන්දෙ දාන්න දන්නේ නැහැ. ජනාධිපතිවරණය කිට්ටු දවසක තමයි අපි මේ ගෙදරට ගොඩවුණේ. අපි ඒ ගෙදර ඉදිද්දී රෑපවාහිනී නාලිකාවක නිමල් සිරිපාල ද සිල්වා මහතාව පෙන්නුවා. ඒ පාර මේ තැනැත්තා අපිට කියනවා ඔය ඉන්න මහත්තයානේ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ කියලා. ඒතමයි ඒ මනුස්සයාගේ අවබෝධය. අපේ එක්කෙනෙක් ඇහුවා. අංකල් කාටද ඡන්දෙ දෙන්නේ කියලා. ඉස්සරනම් මහත්තයෝ අලියට දුන්නා. ඒත් දැන් කාට දෙන්නද කියලා දන්නෙ නැහැ. පුතා ඇවිත් ඡන්ද මධයස්ථානෙට එක්කගෙන යනවා. කොලේක මොකක් හරි ඇදල දුන්නම මම ගිහින් එතන මහත්තයෙකුට ඒක පෙන්නලා ඡන්දෙ දාන්න කියනවා. ගියපාරත් දුන්නේ ඒ විදියට මම දීපු කෙනා දිනුවද දන්නෙත් නැහැ.
ඔන්න ඕක තමයි අපේ මිනිස්සුන්ගේ තත්ත්වය. තවත් ටිකක් හෙට.............

Sunday, April 4, 2010

ප්‍රතිපත්ති ගැන නොසිතා දෙන ඡන්දය

අපේ රටේ මැතිවරණයකදී මේ රටේ මිනිසුන්ටනම් ප්‍රතිපත්ති ගැන වගේ වගක් නැහැ. ඔවුන් තමන් ඡන්දය දෙනේනේ කවරකුට දැයි තීරණය කරන්නේ මහා පුදුමාකාර ආකාරයට. මේ ඒ වගේ කීප දෙනෙක් මා සමග කියපු කථාවක්.
අපේ සහෝදර මාධ්‍යවේදියෙක් ඉන්නවා. මිනිහා පරම්පරාගත යූඑන්පී කාරයා. මුලදි කිව්වා යූඑන්පී එකට ඡන්දෙ දෙනවා කියලා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්නේ. ටික දවසකට පස්සේ මිනිහා කිව්වා කුසලානෙට ඡන්දෙ දෙනවා කියලා. ඇහුවහම කිව්වේ ෆොන්සේකාට කරපු අසාධාරණය නිසා දෙනවා කියා. එයාගේ ගුරුමණ්ඩලයේ අයත් වැඩි දෙනෙක් කුසලානෙට දෙනවා කිව්වා. ඊයේ මෙයා කියනවා මමනම් සන්ධානයට තමයි කියලා. මම පුදුම වෙලා අහුවා අැයි කියලා. මෙන්න ඒ පාර කියනවා අපේ දූගෙ ඉල්ලිමට වෙනස් වුනා කියලා. ඇයි දූට රස්සාවක් ලැබෙනවාද කියලා ඇහුවහම මෙයා කියන්නේ දූ යන ඉස්කෝලෙ හදපු රිචඩ් පතිරණගෙ පුතාට ඡන්දෙ දෙන්න ඕන කියලා දූ අඩනවලු ඒ නිසා ගෙදර හැමෝම එයාට ඡන්දෙ දෙනවළු. ඒක එතුමාගේ කැමැත්තනේ.
ඔන්න දවසක් මට හමුවුණා තවත් ඇමතිවරයෙක්. මෙයා කියනවා මම පළාත් සභාවේදි නිශාන්ත මුතුහෙට්ටිගමට ඡන්දය දුන්නා කියලා. මම ඇහුව ඇයි විශේෂය කියලා. එතකොට කියනවා එයාව හැමෝම කොන් කරන නිසා මම ඡන්දය දුන්නා කියලා.
ඉතින් දවසක් වෛද්‍යවරයෙක් මාර කතාවක් කිව්වා. නිශාන්ත ෆුල් ආතල් එකක් දෙනවා. ඒ නිසා මම ඡන්දෙ දෙනවා කියලා. එතන හිටපු තවත් කෙනෙක් කියනවා පරණ ඇමතිවරු පහලට ඇදලා නිශාන්ත වගේ කෙනෙක් පළමුවැනියා කරන්න ඕන නිසා මම ඡන්දෙ දෙන්නේ එයාට කියලා.
මම දවසක් ත්‍රී වීලර් එකක යද්දී ඒ රියදුරාගෙන් ඡන්‍දය ගැන අහුවම එයා තෝරගෙන හිටියේ ලයනල් ප්‍රේමසිරි හේතුව එයාගේ අම්මට ඇස් කණ්ණාඩි දෙකක් දීම සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව ඉතා නිහතමානී සහ අහිංසක ඡන්ද සටනක් දියත් කිරීම.
මගේ ගේ ඉස්සරහ පාරේ ගිය තරැණියන් දෙදෙනෙක් දවසක් කථා කර කර ගියේ මනුෂ නානායක්කාර හරිම හැන්ඩ්සම් ඒ නිසා එයාටනම් ඡන්දයක් දෙන්නම ඕන කියලා.
මගේ තවත් යාළුවෙක් ඉන්නවා. ජනාධිපතිවරණයේදී ෆොන්සේකාට ඡන්දය දුන්නා කියමින් යන කෙනෙක්. එයා මේ පාරත් කියන්නේ ගාල්ලෙන් පාර්ලිමේන්තුවට කුසලානෙන් එක්කෙනෙක් හරි යවන්න ඕන නිසා එයා කුසලානයට ඡන්දය දෙනවා කියලා. ඒත් මමයි ඔහුයි පමණයි දන්නේ ඔහුට ජාතික හැදුනුම්පතක් හෝ තාවකාලික හැදුනුම්පතක් හෝ නොමැති නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියක් නැති බව.
මගේ මාධ්‍ය සගයෙක් පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ලේඛකයකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ පලකරමින් පුවත් පත් දැන්වීමක නම සදහන් කර තිබුණා. අන්තිමේදි ප්‍රතිඵලය වුනේ මේ පත්තරකාරයාට තමන්ගේ පත්තර රස්සාවේදී මැතිවරණ ගැන ලියන්නට නොහැකිවීම.
මේ අතරේ මට අපේ ගෙවල් ගාව කාන්තාවක් අපූරැ කතාවක් කිව්වා. එයා මේ කථාව මට කියන්න ඉස්සෙල්ලා එතන හිටියා කුසලානයේ ආධාරකරැවෙක්. ඔහු ඉන්නතුරු කුසලානයට ඡන්දය දෙන බව කියපු මේ කාන්තාව ඔහු එතැනින් නික්ම ගිය වහාම කිව්වේ. අනේ මහත්තයෝ ඡන්ද කොලේ අලිය ඉන්නවා දැක්කම මොන කුසලානද අලියටම තමයි අත යන්නේ.
ඉතින් මේ වගේ සිදුවිම් තවත් තියෙනවා. මැතිවරණ ප්‍රතිඵල එළියට එනතුරැම මේ ගැන ලියන්නම්. අදට මේ ඇති. ලිපිය දිග වුණොත් කට්ටියට කියවන්නත් එපා වෙනවග ඉතිරිය හෙට

Saturday, April 3, 2010

මළවුන්ටත් නිගා දෙන කරාපිටිය රෝහල







මම කරාපිටිය රෝහල ගැන ඊයේත් සටහනක් තැබුවා. මේ එහි තවත් පැතිකඩක්. පුද්ගලයෙක් මියගියහම අපේ රටේ හදුන්වන්නේ අවමංගල්‍යය කියලා. මරණයත් මංගල්‍යයක් සේ උත්සවාකාරයෙන්, අති ගෞරවනීය ලෙස සළකන්න අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියා. සුද්දා අපිට හදුන්වා දීපු නීතිය අනුවත් මැරුණු පුද්ගලයකුට ගෞරවනීය තත්ත්වයක් ලැබිය යුතුයි.
කරාපිටිය රෝහලේ කෙනෙක් මියගිය විට ඔහු හෝ ඇය ගේ සිරුර මෘත ශරීරාගාරයට ගෙනගොස් දමනවා. මේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 24 ක් තැන්පත් කළ හැකි ආකාරයට අධිශීතකරණ හතරක් තිබෙනවා. මේ එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරක් විය යුතුයි.
නමුත් දැනට කාලෙකට ඉස්සෙල්ලා මේ එකක් අක්‍රිය වුනා. ඒක හැදුවේ නැහැ. දෙවැනි එකත් අක්‍රියයි. ඒකත් හැදුවේ නැහැ. ඒ දෙකේම දැමිය යුතු මළ සිරුරු එකපිට එක තියලා අනෙක් දෙකට දැම්මා. දැන් මේවා වෙනදාට වඩා අමාරුවෙන් වැඩකරන්න වෙනවා. ඉතින් තවත් එකක් කැඩුණා. කරාපිටිය රෝහලේ පාලන අධිකාරියේ ප්‍රධානියා වන අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියානි සේනාධීර මහත්මියට මේ ගැන කියා තිබුණත් පලක් වුණේ නැහැ. ටික දවසකින් අධි ශීතකරණ හතරම කැඩිලා. මළ සිරුරු 18ක් තිබියදී. දැන් ඒ එක අධිශීතකරණයක උෂ්ණත්වය අංශක 40 ක්. මළ සිරුරු පණුවෝ හැදිලා. කරාපිටියේ මෝචරිය එහෙමත් නැත්නම් මෘත ශරීරාගාරය පැත්තේ කාටවත්ම යන්න හැකියාවක් නැහැ. පළාතම ගද ගහනවා. ඒ විතරක් නෙවෙයි අර මළ සිරුරු කුණු වෙනවා. පණුවෝ මෘත ශරීරාගාරයේ බිම විතරක් නෙවෙයි බිත්ති දිගේත් දුවනවා. ඒක තනිකරම අපායක්.
මේක දැනගත්තු ගමන්ම මම ගියා. ගිහින් ඒ සියල්ල ඡායාරූප ගත්තා. වීඩියෝ කළා. වීඩියෝ පටය සිරසටත්, ඡායාරූප ලංකාදීපයටත් යැව්වා.
පුවතක් සමබර වෙන්න ඕන නිසා මම අධ්‍යක්ෂතුමියගෙන් විමසුවා. ඇය වැඩ ගොඩක් තියෙනවා කියලා මග ඇරලා සේවකයන්ට බැන වැදිලා අන්න සිරසෙන් ඇවිත් වීඩියෝ කරලා පුළුවන් තරම් ඉක්මනට සුද්ද කරන්න කියලා. පසුවදා සුද්ද කරන්න පටන් ගත්තා. එදා එතුමියට මම දුරකථන ඇමතුමක් දුන්නම කිව්වා සතියකට ඉස්සෙල්ලා කැඩිල තිබුණා. පණුවොනම් හිටියේ නැහැ. ඒත් දැන් ඒක හදලා කියලා. අපි මේ සිදුවීම සිරස ටී.වී. ඔස්සේ ප්‍රචාරය කළා. රෑ ඒ පුවත දැකපු අධ්‍යක්ෂතුමිය පසුවදා උදේ පාන්දරින්ම ඇවිත් වේලාසනින්ම රතු ඉර ගහලා තියෙනවා. ඒ අපිට තොරතුරු දෙන සේවකයන්ගෙන් පළිගන්නලු. කමක් නෑ කොහොම හරි මෝචරිය සුද්ද කළානේ. ඒත් මේ පාලනය කරාපිටිය රෝහලට ගැලපෙනවාද කියන එකනම් ලොකු ප්‍රශ්නයක්
මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ මෝචරිය, එහි ශීතකරණ, ඒවා ඇතලේ පණුවන් හැදී තිබෙන නරක්වූ මළ සිරුරු සහ පණුවන් බිම පවා සිටින ආකාරය. ඒ වගේම අපේ සහෘදයන්ගේ ඉල්ලීම නිසා ඔන්න මම කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂිකා ප්‍රියානි සේනාධීර මහත්මියගෙත් ඡායාරූපයක් මෙහි පලකරනවා. ඒ රෝහලේ පැවැති පිරිත් පිංකමක් වෙලාවක ගත්තු ඡායාරූපයක්

Friday, April 2, 2010

කරාපිටිය රෝහලේ අන්තනෝමතික පාලනය

ගාල්ල කරාපිටියේ පිහිටි ශික්ෂණ රෝහල කියන්නේ දකුණු පළාතේම ඇති ප්‍රධානතම රෝහල බව නොරහසක්. ඒත් දැන් මේකට අළුතෙන් ආපු අධ්‍යක්ෂවරිය නිසා රෝහලට හෙනහුරා ලබල කියලා පැහැදිලියි. පහුගිය දවස්වල මේ රෝහලේ කාර්ය මණ්ඩලය එක දිගට උණ රෝගයකින් පෙළෙන්න වුණා. මේ වැඩි දෙනෙක් ඩෙංගු රෝගීන් බව පැහැදිලි වුණා.
අවසානයේ නගර සභාව කළේ රෝහල් භූමිය, වෛද්‍ය හා හෙදි නේවාසිකාගාර පරීක්ෂා කිරීම. නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රෝහලේ ඇති ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන රැසක් සොයාගත්තා. ඔවුන් ඒ ස්ථානවල ඡායාරූපත් ගත්තා. මේ ඡායාරූපත් ඉදිරිපත් කරමින් නගර සභාව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියානි සේනාධීර මහත්මිය ලිඛ්තව දැනුම් දුන්නේ ඒ ස්ථාන විනාශ කිරීම හෝ පිරිසිදු කිරීම කරන ලෙසයි.
ඒ දැනුම් දිම කරල තියෙන්නේ පසුගිය මාර්තු අටවැනිදා. ඒත් ඒ ස්ථාන තවමත් තියෙන්නේ ඒ විදියටමයි. කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් අහන්න කිසිම කැමැත්තක් නැති අධ්‍යක්ෂතුමිය රෝහල ගැන මම බලාගන්නම් ඔයාලා තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියලා මට කිව්වේ මාධ්‍යවේදියෙක් ලෙස මේ උද්ගතව ඇති භයානක තත්ත්වය ගැන විමසන්න ගියපු වෙලාවේ. මෙහෙම අධ්‍යක්ෂවරියක් ඉන්න කරාපිටියට සිදුවන දේ අනාගතයේදී දැකගන්න පුළුවන් වේවි ! අනේ අහිංසක රෝගීන්....................

දිරිමත් කළ මිතුරන්ගේ ඉල්ලීම ..............

පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් ගණනාවක් හේතුවෙන් මේ බ්ලොග් සටහන ලිවීම නතර කැර දැමීමට තීරණය කළෙමි. එහෙත් මගේ බ්ලොග් සටහන කියවූ සහෝදර බ්ලොග් කරැවන්ගේත් මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේත් ඉල්ලීම නිසා නැවතත් මේ බ්ලොග් අඩවිය ලිවිය යුතුයැයි තීරණය කළෙම
ඔන්න එහෙනම් අද ඉදලා මම නැවත මේ බ්ලොග් සටහන ලියන්න පටන් ගන්නවා. ඉදිරියටත් ඔබේ සහයෝගය උදක්ම අපේක්ෂාවෙන්. දිරිමත් කළ සියළු දෙනාටම ස්තූතියි. කියවන හැමෝටමත් පින්......................