Wednesday, December 28, 2011

මාධ්‍යවේදියා තෝරාගන්නා නිලධාරීන්

ගොඩක් දවසකට පස්සේ මාධ්‍යවේදියාගේ සටහන් නැවත ආරම්භ කරන්න හිතුවා. එන අවුරුද්දේනම් දිනපතා ලියාගෙන යන්න අදිටන් කරනවා. මාධ්‍යවේදියකු ලෙස අපිට මුහුණ පාන්න සිදුවන දේවල් වෙනත් වෘත්තියක නියැලෙන්නන්ට මුහුණපාන්න නොලැබෙන නිසා මේක එක්තරා විදියකට බොහෝ දෙනෙකුට වැදගත් වේවි.
අද උදේ පාන්දරින්ම දුරකථන ඇමතුමක් ආවා. කථා කරපු කෙනා අහනවා අදුන ගන්න බැරිද කියලා. කොහේ අදුනන්නද එයාගේ අංකය මා සතුව තිබුණේ නැහැ. ටිකකින් කියනවා අපූරු ප්‍රවෘත්තියක් දෙන්න තියෙනවා ඒ නිසා එයාගේ කාර්යාලය පැත්තේ එන්න කියලා. කාර්යාලය ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය.
පැයකට විතර පස්සේ මම ගියා. ඔවුන් මා බලාපොරොත්තුවෙන් ඉදලා.
මම පාරිභෝගික අධිකාරියේ ප්‍රවෘත්ති ගන්න නිතර නිතර යන කෙනෙක් නෙවෙයි. නමුත් බීට්ටු වාර්තාකරණයට පුරුදු වෙලා ඉන්න අය ඔවුන් සොයාගෙන නිතර ගිහින් මොනවා හරි ලියනවා.
අපි මේක දෙන්නේ ඔයාටම විතරයි. වෙන කාටවත් දෙන්නේ නැහැ. ඔවුන් මා සමග එසේ කීවා.
ඇයි ඒ මම ඇහුවේ විමතියෙන්.
නෑ මෙහෙට එන අය නිකම්ම නිකම් ප්‍රවෘත්තිය ලියනවා. නමුත් අපිට මේක ටිකක් මිනිස්සුන්ට දැනෙන විදියට ලියන්න ඕන.
අපි අතර වැඩි ඇසුරක් නොතිබුණත් ඔවුන් මගේ ලේඛණය ගැන විශ්වාසය තැබීම සතුටක්. මම වැඩේ බාර ගත්තා.
කතන්දරේ මොකක් ද කියලා මම කියන්නම්
නීති විරෝධී ළදරු කිරිපිටි වර්ගයක් ලංකාවේ වෙළද සැල් වලට ඇවිල්ලා.
යම් කිිපිටි වර්ගයක් මෙරට විකුණනවානම් ඒ කිරපිටි ඇසුරුමේ සදහන් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා
ඉන් එකක් තමයි මව්කිරි ලබාදීම පෝෂ්‍යදායී බව.
ඒ වගේම කිරිපිටි මව්කිරි වෙනුවට ආදේශකයක් බව සදහන් නොවිය යුතුයි. ඒ වගේම මාස හයකට වඩා අඩු දරුවන්ට මේවා ලබාදෙන බවක් සදහන් කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. තවත් දෙයක් තියෙනවා කිරිපිටි වර්ගය සාදාගන්නා ආකාරය සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සදහන් විය යුතුයි. ඒ වගේම වරක් සාදාගන්නා ලද පිටි තියාගෙන ඉදලා භාවිතා කරන්න බැරිබවත් මේ ඇසුරුමේම දැක්විය යුතුයි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරී මහත්වරුන්ට හමුවෙලා තියෙන මේ කිරිපිටි වර්ගය මේ ඉහත මම කියපු කාරණා සියල්ල උල්ලංඝනය කරලා. මේ කිරිපිටි ඇසුරුමේ එකම සිංහල වචනයක්වත් නැහැ. ඒ විතරක් නොවෙයි ඉංග්‍රීසි භාෂාවත් මෙහි දක්නට නැහැ. අරාබි රටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරපු කිරිපිටි වර්ගයක් තමයි මේ විදියට ගෙන්වලා තියෙන්නේ. ඔවුන් මගෙන් ඉල්ලා සිටියේ ලංකාව පුරා දෙමාපියන් මේ පිළිබදව දැනුම්වත් වන පුවතක් පලකරන්න කියලා. ඔන්න මම වැඩේ බාරගත්තා. බලමු මොනවද වෙන්නේ කියලා.