Friday, January 27, 2017

ඉතින් මේ රටේ හතරවැනි ආණ්ඩුව රට යහමගට ගන්නේ කෙසේ ද ?

පසුගිය දවසක අපේ මාධ්‍ය සඟයෙක් සමග ටිකක් දුර ගමනක් යන්න මට අවස්ථාව ලැබුණා. මෙයා මගේ හොඳ මිත්‍රයෙක් වගේ ම ලාබාල මාධ්‍ය සඟයෙක්. අපේ මාතෘකාව වුණේ මාධ්‍යය, මාධ්‍යවේදීන්ගේ ගති ස්වභාවයන් හා අපි කළ යුතු කාර්ය භාරයන්.
රට හදන්න අපේ මාධ්‍යවේදීන් විශාල වැඩකොටසක් කරනවා යැයි මගේ මිත්‍රයා කිව්වා.
‘‘මොන විකාර ද මල්ලී. එදා වේල හොයාගන්න ලියනවා වගේ නිකන් අරයා මෙයා කියන දේවල් ලියනවා විතරයි “
‘‘නෑ අයියේ ඔයා එහෙම කියන්න එපා. අපේ අය කොච්චර හොඳට ගේම් දෙනව ද ? “
‘‘ගේම් නම් දෙනවා තමයි මල්ලී. ඒත් මාධ්‍යකාරයන් හැටියට කරන්න ඕන දේ කරන්නේ නැතිව වෙන වෙන ගේම් නම් දෙනවා. “
‘‘ ඒ හැමෝම නෙවෙයි.“
‘‘ඒක හරි මාත් පිළිගන්නවා. නමුත් මේ වනවිට ලංකාවේ ගවේෂණාත්මක මාධ්‍ය කලාව කියන එක නැත්තටම නැතිවෙලා ගිහින්.“
‘‘ඉතින් ඔය පත්තරවල තියෙන්නේ ඕන තරම් ගවේෂණාත්මක ලිපි“
‘‘ඔයා මොනවද ඔය කියන්නේ. සමහර අවුරුදුවල දී පුවත්පත් ආයතනයේ සම්මාන උළෙලේ දී සම්මානක් දෙන්න තරම් සුදුසු ගවේෂණාත්මක ලිපියක් හොයාගන්න බැරි වෙන අවුරුදු තියෙනවා.“
‘‘ ඒ ඉතින් හොඳ අය සම්මාන ඉල්ලන්නේ නැති නිසා. “
‘‘මල්ලී, මගේ අවුරුදු 10ක කාලයේ දී මම හොඳ ගවේෂණාත්මක ලිපි 20-30ක් ලියන්න ඇති ඔයා කීයක් ලියලා තියෙනවා ද ?“
‘‘ අයියෝ ඔයා එච්චර ද ලිවුවේ. මම මාසයකට දෙක තුනක් ලියනවානේ ....“
‘‘ නෑ වෙන්න බෑ, මම නම් ඔයා ලියපු එකක්වත් දැක්කේ නැහැ. එකක් දෙකක් කියන්නකෝ බලන්න.“
‘‘මම ගිය සතියේ පන්සල් දෙකක් ගැනම ගවේෂණාත්මක ලිපි ලියලා ඒවා පත්තරේ ගියා.“
....................................... මට සිනාව නවතාගත නොහැකිය.
අපේ මාධ්‍යවේදීන් ගවේෂණාත්මක මාධ්‍ය කලාව ලෙස වටහාගෙන ඇත්තේ ආගමික සිද්ධස්ථානයකට ගොස් එහි අතීතය කාගෙන් හෝ අසා දැනගෙන ලිවීමයි.
ඉතින් මේ රටේ හතරවැනි ආණ්ඩුව රට යහමගට ගන්නේ කෙසේ ද ?

කප්පම් ගත් තම වාර්තාකරු තමාගේ නොවේ යැයි කියා ඇඟ බේරා ගැනීමේ අපූරු මාධ්‍ය සංදර්ශනය - හෙට දිනයේ හිරු පායන්නාක් මෙන් විශ්වාසයි

////////මාධ්‍යය ගැන දැනගන්න කැමතිනම්, එය ගැන විශ්වාස කරනවානම්. මාධ්‍යයට ගරහනවානම් නැතිනම් මාධ්‍යය විවේචනය කරනවානම් මොනවා කළත් කමක් නෑ. අවසානය දක්වා කියවන්න. ////////
මෙය දෛනිකව තබන මාධ්‍ය ගැන සටහනක් කර ගැනීමට අපේක්ෂිතය. එය ඇතැම් අයගේ හදවත කීරි ගැසීමටත් තවත් පිරිසක් උද්යෝගමත් කිරීමටත් හේතුවනු ඇත. මා මගේම සමකාලීන මාධ්‍ය සහෘදයන් පිරිසක් අතර ගැරහීමටත්, විවේචනයටත් ලක්වන්නක් බව ද මම දනිමි. එමෙන් ම මගේ මරණයටවත් යන්නේ නැතැයි කියමින් ඇතැම් සඟයන් මට බැණ වදිනු ඇත. ඉතා සුළු මාධ්‍ය සඟයන් පිරිසක් අතර පමණක් මා වීරයකු වනු ඇත. නමුත් මෙය මා විසින් කළ යුතුම කාරියක් ලෙස සළකමි. එබැවින් මෙතැනින් යළි පටන් ගනිමි. මෙය කිසිදු බලපෑමක් හේතුවෙන් නවත්වන්නට ආරම්භ කරන්නක් නොවන බව ද සිහිපත් කළ යුතුය.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

පසුගිය සතියේ දිනක මාතර මාධ්‍ය සඟයකුගෙන් අැමතුමක් ලැබුණා. ඉන් කියවුණේ ගාල්ලේ අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස සිටි මිත්‍රයෙක් කාන්තාවකගෙන් කප්පම් ගැනීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව. පසුව ඔහු රිමාන්ඩ් කළ බව ද දැනගන්නට ලැබුණා. එය කෙනෙකුට පුවතක් පමණක් වුව ද මට එය විවේචනාත්මක විග්‍රහයකට හොඳ වස්තු බීජයකි.
මා ඔහු ගැන යමක් කිව යුතුයි. මේ තැනැත්තා මාධ්‍යයට ආවේ කවර සුදුසකමක් නිසා දැයි මා දන්නේ නැහැ. නමුත් ඔහුට වීඩියෝ කළ හැකි කැමරාවක් තිබුණා. එයින් කවර හෝ ආකාරයේ රූපරාමු ගන්නා බව ද පෙනුනා. මේ තැනැත්තා මුලින් ම ගාල්ලේ හිරු මාධ්‍යවේදියා ලෙස කටයුතු කළා. මගේ කාර්යාලයෙන් ද ඔශු හිරු ආයතනයට පුවත් සැපයුවා. පසුව ඔහු ස්වර්ණවාහිනිය හා දෙරණ සමගත් එක්වූ බව මට මතකයි. ඉතා කෙටි කාලයක් ලංකාදීප වෙබ් අඩවියට පුවත් සැපයුවා.
ටික කාලයකින් කාටවත් ගන්නට බැරි විෂුවල් ඔහු එවනවා යැයි කියා ඔහු සේවය කළ මාධ්‍ය ආයතන ඔහුට වැඩි වගකීම් පැවරීමත් සමග ඔහු ගාල්ලේ පොරක් වෙද්දී ඒ තැනැත්තාගේ හැසිරීම් බොහෝ දෙනෙකුට දිරෙව්වේ නැහැ.
කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී දිනක් අපේ ම ගාල්ලේ මාධ්‍ය සඟයකුගේ කැමරාවක් නැතිවුණා. මේ නැතිවූ කැමරාව හමුවුණේ අපේ කතානායකයා ගේ සන්තකයේ තිබී. නමුත් කැමරාවේ සැබෑ හිමිකරුවා තම මාධ්‍ය මිත්‍රයා හොරකු වුවත් ඔහුට සමාව දුන්නා. අපි මාධ්‍ය ආයතනවලට දැනුම් දුන්නා මේ පුද්ගලයාගේ කෙරුවාව. දින කිහිපයක් ඔහුගේ සේවාව නවතා දැමූ මාධ්‍ය ආයතන නැවතත් ඔහු සේවයේ පිහිටවූයේ නිල්ලජ්ජිතව. මේ මාධ්‍ය ආයතනවලට අවශ්‍ය වූයේ ඔහුගෙන් ලැබෙන කිසිදු විචාරයක් නැති, සදාචාරය උල්ලංඝනය කරන විෂුවල් පමණයි.
හිරු පුවත් සේවයේ CIA වැඩසටහනේ වාර්තාකරු ලෙස බද්දේගම ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීමක් වීඩියෝ කළ මේ පුද්ගලයා ඒ වාර්තාව විකාශය නොකිරීමට රුපියල් 25,000ක කප්පමක් ඉල්ලා තිබුණා.
කරාපිටිය රෝහලේ රථ ගාලේ වැඩිපුර මුදල් අයකරන පුවත හිරු CIA මගින් විකාශය නොකිරීමට රුපියල් 5000ක් කප්පම් ඉල්ලා තිබුණා. අපි මේ ගැන අදාල මාධ්‍ය ආයතන සියල්ල දැනුම්වත් කරත් ඔවුන් ඔහු විශ්වාස කළා අප සැකකළා. අපි ඉරිසියාවට චෝදනා කරනවා කීවා.
මාස කිහිපයක් ගත වුණා. ගාල්ලේ පදිංචි දුප්පත් රෝගී දරුවකු සුව කිරීමට දෙමාපියන් විදින වේදනාව සම්බන්ධයෙන් මේ පුද්ගලයා මාධ්‍ය ආයතන දැනුම් දීමකට අනුව ප්‍රවෘත්තියක් සකසා යවා තිබුණා. මේ පුවත දුටු එක්තරා සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එම පවුලට ලොකු පරිත්‍යාගයක් කළා මාසිකව මුදල් දෙන්නත් පොරොන්දු වුණා.
ඒ නිවසට ගිය මේ වාර්තාකරුවා මේ අහිංසක දෙමාපියන්ගෙන් රුපියල් 50,000 ක කප්පමක් ගත්තා. පසුව යළි පැමිණ සෑම මාසයක ම තමන්ට රුපියල් 10,000 බැගින් අවශ්‍යයැයි තර්ජනය කළා. මේ ගැන දැනගත් මාධ්‍ය ආයතන ඔහුගේ සේවය ලබා ගැනීම නවතා දැම්මා. ස්වර්ණවාහිනිය ඔහුගේ මයික් ලෝගෝවත්, හැඳනුම්පතත් යළි ලබා ගත්තේ නිවසට නිලධාරියකු යවමින්.
නමුත් මේ තැනැත්තා තවත් දින කිහිපයකට පසු මාතර හක්මන ප්‍රදේශයෙන් යළි සිය සුපුරුදු ප්‍රාදේශීය මාධ්‍ය වෘත්තියට පිවිසුණේ කවුරුත් පුදුම කරමින්. දෙරණ ආයතනය ඔහුගේ සේවය ලබාගත්තා. හිරු ආයතනයත් තම වාර්තාකරු (ගාල්ල හිරු රිපෝටර්) සතු හැඳුනුම්පත් හෝ ආයතනික මයික් ලෝගෝව ලබාගත්තේ නැහැ. අප දන්නා තරමින් ඔහු හක්මන සිට අදාල මාධ්‍ය ආයතන කිහිපයකට පුවත් සපයා තිබෙනවා.
අවසානයේ හක්මන දී තම සුපුරුදු කප්පම් මාෆියාවට යළි පණ පොවන මොහු කරන්නේ විවාහ ලේකම්වරියක අයථා මුදල් ගනුදෙනුවක යෙදීමක් තමන් වීඩියෝ කර ඇති බවත් එය හිරු CIA වෙත නොදීමට නම් රුපියල් 50,000 ක කප්පමක් ඉල්ලා සිටීම. ඔහුට රුපියල් 10,000ක් දුන් ඇය ඒ බව හිරු නාලිකාවට දැනුම් දීමෙන් මේ වාර්තාකරුගේ කප්පම් සෙල්ලම පොලිසිය දක්වා ගමන් කරනවා.
නමුත් මාධ්‍ය සංදර්ශනය ඇරඹෙන්නේ ඉන් පසුව
වසර ගණනාවක් ගාල්ලේ හිරු ප්‍රාදේශීය වාර්තාකරු ලෙස මේ කප්පම් කරුවා කටයුතු කළා.
හිරු CIA වෙත ඔහු නිබඳව නිවුස් සැපයුවා.
ඔහුට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය හැඳුනුම්පතක් ද නිකුත් කර තිබෙනවා.
මේ හැඳුනුම්පත සඳහා ඔහුගේ නම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත්තේ ද හිරු ආයතනය විසින්
අප අවස්ථා කිහිපයක දී ම ඔහු කප්පම් කරුවෙක් හා වංචා කරුවෙක් බව හිරු ආයතනයට කීව ද ඒ ගැන නොසළකා හරිමින් ඔහුගෙන් ප්‍රවෘත්ති ලබා ගත්තා.
හදිසියේම මේ සියල්ල අමතක කරන හිරු නාලිකාව හිරු CIA වැඩසටහනෙන් යළි මෙරට මහජනතාව ගොනාට අන්දනවා.
ඒ හිරු නාලිකාවේ වාර්තාකරුවකු යැයි පෙනී සිටින තැනැත්තකු ව්‍යාජ හැඳනුම්පත් ද සකස් කර හිරු CIA වෙනුවෙන් යැයි කියමින් විවාහ ලේකම් වරියකගෙන් කප්පම් ගත් බව පවසමින්.
ඇත්තටම ඔහු හිරු නාලිකාවේ වාර්තාකරුවකු නොවේ ද ?
 හිරු මේ සිදුකළේ කුමක් ද ?
තමන්ගේ ප්‍රාදේශීය වාර්තාකරුවා කප්පම් ගත් විට ඒබව දැන දැනත් ඔහුගේ සේවය දිගින් දිගටම ලබාගෙන ඔහුට යළි යළිත් අවස්ථාව දී පසුව ගැලවීමක් නැතිම තැන දී ඔහු තම නාලිකාවේ නම විකුණූ ව්‍යාජ පුද්ගලයකු බව පවසා ප්‍රශ්නයෙන් ඇඟ බේරාගැනීම නොවේ ද ?
මෙය ජනතාව ගොනාට ඇන්දවීමකි.
පොදු දේපල වූ සංඛ්‍යාත පරාසයන් භාවිතා කරමින් මාද්‍ය සංදර්ශන කිරීමකි.
සැකයක් ඇත. මේ වාර්තාකරු ලබාගත් කප්පම් ගත්තේ ඔහුටම ද නැතිනම් ආයතනික නිලධාරීන්ගේ වුවමනාවට ඔවුන්ගේ ද දැනුම්වත් බව ඇතිව ද ?
මේ ගැන අප සොයා බැලිය යුතුය. 





Saturday, December 20, 2014

ඡන්දය ගැන ඇහෙන, දකින, හිතෙන දේ

දැන් කාටත් මාර චූන්ය. ඒ තමන්ගේ පාලකයා තෝරාගැනීමේ අවස්ථාව ලැබී ඇති බැවිනි. රටේ නායකයා තෝරාගන්නවා යනු ලෙහෙසි කටයුතුක් යැයි මා නම් සිතන්නේ නැත. දැන් ඒ ගැන බොහෝ දෙනා කතා කරන්නේ වෙනත් කිසිදු වැඩක් තමන්ට ඇතැයි නොසිතමිනි. රටේ පාලකයා පත්කළ යුත්තේ කතා කරමින් නොව ඡන්දය පාවිච්චි කරමිනි. මේ බව අපේ බොහෝ දෙනකු එක්කෝ දන්නේ නැත. නැතිනම් ඒ ගැන හිතන්නේ නැත.
කෙසේ වෙතත් දැන් තිබෙන්නේ අපූරු සංදර්ශනයකි. හැමෝම හිතන්නේ ඔළුගෙඩි ටික ඒ පැත්තට මේ පැත්තට මාරු කරලා ඡන්දය දිනන්නය. ඔවුන් එසේ සිතීම ද නිවැරදිය. මට හිතෙන හැටියටනම් මෙරට මජහනයා තමන්ගේ ඡන්දයේ නියම වටිනාකම නොදන්නා බැවින් ඔවුන් එසේ කරයි.
ඒ පැත්තට මේ පැත්තට පනින්නන්ට කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැත. එයට හොඳම උදාහරණය පසුගිය දා පැන්න විපක්ෂයේ ප්‍රබලයෙකි. ඔහු පනින්නට දින කිහිපයකට පෙරත් ආණ්ඩුව පතුරු ගැහුවේය. දැන් අන් සියළු දෙනාට වඩා ආණ්ඩුවේ ගුණ ගයන්නේ ඔහුය.
මේ අපේ රටේ තකතීරු දේශපාලනයයි. මේ විහිළු බලා සිට අපේ අය ද තකතීරු විදියට ඡන්දය පාවිච්චි කරන බව පසිගිය සෑම මැතිවරණය ක දී ම අපට පෙණුනේය. අපි ඡන්දය දිය යුත්තේ වැඩිපුර පිරිසක් පැන එකතු වූ පක්ෂය ට ද ? පැනීමේ රැල්ලට ද ?
නැත අපි තෝරන්නේ ඒ අවස්ථාවාදීන්ගේ බඩගෝස්තරය වර්ධනය කළ හැකි නායකයා නොවේය. අපේ නායකයාය. අපේ නායකයා තෝරන්නට ඒ කිසිවක් අපට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අපේ සිහි බුද්ධියෙන් හිතා බලා ඡන්දය දිනයේ පැන්සල් කොටය භාවිතා කිරීම පමණි.
අඩුම ගණනේ රටේ නායකත්වය වෙනුවෙන් තරඟයක් දිය හැකියැයි සිතිය හැකි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන, අරමුණු අපේක්ෂාවන් හා අතීතයේ කළ කී දෑ ගැන සොයා බලා සිතා බලා තක්සේරු කර ඡන්දය දෙන්නට අපි පුරුදු වෙමු
 නමුත් වේදනාව වන්නේ එය එසේ සිදු නොවීමයි. අද ලංකාවේ බොහෝ දෙනාගේ දේශපාලනය පැවත එන්නේ පවුලෙනි. ඒ බණ්ඩාරනායක පවුල හෝ රාජපක්ෂ පවුල හෝ සේනානායක පවුල ගැන හෝ කීවක් නොවේ.
තාත්තාගේ අම්මාගේ දේශපාලන දර්ශනය පුතාට හෝ දුවට ලැබීමයි. ඔවුන් දන්නේ තාත්තාගෙන් හා අම්මාගෙන් ඇසුණු දේශපාලන දර්ශනයක් පමණි. ඉන් එහාට සිතුවානම් සිතුවේ අම්මලා තාත්තලා නොකළ දේශපාලනයක් කළ ජේවීපී කාරයෝය. 
මේ පවුල් දේශපාලන ක්‍රමය නිසා ම ලංකාවේ යූඑන්පී කාරයෝ හා එස්එල්එෆ්පී කාරයෝ කියා හංවඩු ගැසුණු අය සිටිති. ඉන්නේ ඔවුන් පමණක් නම් රටේ කෝටි ගණන් මුදල් වියදම් කර ඡන්දයක් තිබිය යුතු නැත. අවශ්‍ය වන්නේ ජන සංඛ්‍යාලේඛණ දත්ත පමණි.
නමුත් එසේ නොවේ. ඉදහිට එක් පැත්කට හෝ අනෙක් පැත්තකට ඡන්දය දෙන්නවුන් සිටිති. නැතිනම් නොදීම ඉන්නවුන් ද කුරුටු ගාන්නවුන් ද සිටිති.
මා නම් සිතන්නේ සැවොම ඡන්දය භාවිතා කළ යුතුය. තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය දිය යුතුය. මේ කැමැත්ත තීරණය විය යුත්තේ වැඩි දෙනාගේ කැමැත්ත ලැබීම අනුව නොව ප්‍රතිපත්ති හා ඔවුන් ගැන විශ්වාසය තැබීමේ හැකියාව මතය.
රැල්ලට, පරණ පුරුද්දට, ඡන්දය නොදී අනාගතය, ප්‍රතිපත්ති, හැකියාව ගැන සොයා බලමු.
ඡන්දයක නියම ප්‍රයෝජනය ගනිමු.

Monday, October 15, 2012

දැරිය මියගියාද ? අත්වැරදීමකින් මරා දැමුනාද ?

‘‘ අනේ අම්මේ ඉන්ජෙක්ෂන් ගහන්න එපා මට කරන්ට් එක වදිනවා වගේ ‘‘ කියපු පුංචි කවීෂා ඉන් විනාඩි කිහිපයකට පස්සේ සදහටම දෙනෙත් පියා ගත්තේ කරාපිටිය රෝහලේදී.

දැරියගේ මරණයට හේතුව එන්නතක් විෂ වීමයැයි තීරණය කරපු රෝහල් බලධාරීන් ඒ දැරියගේ මරණයට හේතු වූවායැයි කියන එන්නත තවදුරටත් භාවිතා කිරීම එදිනම නවතා දැමුවා. දැන් එය ලංකාවේ සියළුම රෝහල් වලින් ඉවත් කරලා.
මේ මරණය සම්බන්ධ මරණ පරීක්ෂණයේදී වැඩි යමක් කියවෙලා නැහැ. හදිසි මරණ පරීක්ෂකවරයා අධිකරණ වෛද්‍ය විශේෂඥ වරයාගේ වාර්තාවත් ඉදිරිපත්වූ සාක්ෂිත් සැළකිල්ලට ගනිමින් විවෘත තීන්දුවක් ලබාදී තිබෙන්නේ දැරියගේ අවසන් කටයුතු සිදුකරන්නට. අද ( සඳුදා ) ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ හතරවැනි පන්තියේ ඉගෙනුම ලබමින් සිටි මේ පුංචි දැරිය අවසන් ගමන් යනවා.
සති තුනක් ඇතුලත කරාපිටිය රෝහලේ සිදුවූ අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු තුන්වැනි ළමා මරණයයි මේ.
සාමාන්‍යෙයන් ලංකාවේ මරණ සම්බන්ධයෙන් ක්‍රියාකරන්නා වූ නීතියක් තිබෙනවා. හදිසි මරණයකදී මරණ පරීක්ෂණයක් පැවැත්වෙනවා. මරණය සම්බන්ධ සැකයක් ඇත්නම් ඒ ගැන මරණ පරීක්ෂණයේදී පැවසිය යුතුයි.
දැරිය මියගියේ සෙෆ්ට්‍රිඇක්සෝන් නමැති ඖෂධය තුන්වෙනි වතාවට ශරීරයට ඇතුළු කරද්දී. සාමාන්‍යයෙන් බෙහෙත් ඇලජික් වනවානම් එය පලමුවැනි එන්නත දීමේදීම ඇලජික් වන බව තමයි සාමාන්‍ය පිළිගැනීම. එසේනම් මෙය කෙසේ ද ඇලජික් වුනේ කියා අප සොයා බැලිය යුතුයි. මම ඒ ගැන සොයා බැලුවා.
මේ දැරිය රෝහල් ගත කරන්නේ පසුගිය 10 වැනිදා. වමනය සහ බඩ යාම නිසා. දැඩි විජලන තත්ත්වයකින්. කරාපිටිය රෝහලේදී මේ දැරියගේ රුධිර සාම්පල ගැනීමෙන් පසු තීරණය කරනවා බැක්ටීරියාවක් ශරීරගතවී දැරිය රෝගාතුරවී ඇති බව.
12 වැනිදා උදේ බඩේ අමාරුව සුව වී වමනයත් නැවතී තිබූ නිසා මේ පුංචි කවීෂා ඉඳිආප්ප 10 ක් උදේ ආහාරයට ගත්තට පස්සේ තමයි හෙදියන්ගේ කුටියට ඇය කැඳවන්නේ. කවීෂා ඇඳෙන් බැහැලා අම්මා සමග එතැනට යනවිට සිලින්ජර තුනක් මේසය මත බෙහෙත් පුරවා තිබෙනවා.
‘‘ ඇයි මිස් තුන් පාරක් දෙන්න තියෙන බෙහෙත එකපාරටම දෙනවා ද ? ‘‘ එහෙම ඇහුවේ අම්මා.
‘‘ නෑ. මිලි මීට 10 සිලින්ජර කබඩ් එකේ තිබුණත් මෙයාලා ගන්න කම්මැලියි. ඒ නිසා මම පොඩි තුනකට බෙහෙත් දැම්මා.‘‘ ඒ හෙදියගේ පිළිතුරයි.
මේ සෙෆ්ට්‍රිඇක්සෝන් ගැනත් යමක් කිව යුතුයි. එය එන්නේ කොටස් දෙකකින්. එක් කොටසක් ජලය සහිත ඕනෑම ද්‍රාවකයක පහසුවෙන් දියවන කුඩක්. අනික එයට නිශ්චිත ද්‍රාවකයක්. කුඩු ඒ ද්‍රාවකයේ දිය කළ යුතුයි.
කෙසේ වෙතත් මේ හෙදිය දැරියගේ අතේ සේලයින් දීමට සවිකැර තිබූ කටුවට මේ එන්නත ඇතුල් කරනවාත් සමගම අර පුංචි දියණිය කෑ ගසනවා.
ඇය කෑ ගැසුවේ අනේ අම්මේ කරන්ට් වදිනවා කියමින්. අපි කවදාවත් අසා නැහැ එන්නතක් ඇතුළු කරනවාත් සමගම කරන්ට් වදිනවා යැයි කෑ ගැසූ කිසිදු අවස්ථාවක්. එවැන්නක් සිදුවීමට ඉඩක් නැහැ. මේ දැරියගෙ කෑ ගැසීමත් සමගම හෙදිය කරන්නේ අනිත් අතට කැනියුලා එකක් දාලා නැවත අර එන්නත ලබාදීම. හෙදිය කියා ඇත්තේ කැනියුලා එකේ ගැටළුවක් නිසා රිදෙන බවයි. මේ අවස්ථාවේදීත් අර පුංචි දියණිය අනේ අම්මේ මට කරන්ට් වදිනවා වගේ ඉන්ජෙක්ෂන් ගහන්න එපා කියා ලතෝනි තියනවා.
අන්තිමේදී ඒ එන්නත ශරීරගතවී මොහොතකින් ඇගේ හෘදය නවතිනවා. දැරිය මරණය කරා යද්දී වහාම ක්‍රියාත්මක වූ වෛද්‍යවරු හෘද තෙරපුම ලබාදීලා දැරිය යළි පියවි තත්ත්වයට ගත්තා. ඒ අවස්ථාවේ වේදනාවෙන් කෑ ගහපු දැරිය අනේ අම්මේ මට බෙහෙත් විදින්න එපා කියමින් වමනය කරනවා. පසුව වෛද්‍යවරුන්ගේ තීරණය වන්නේ දැරිය දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ යුතු බවයි.
මේ දැරිය දැඩි සත්කාර ඒකකයට ට්‍රොලියක තබාගෙන යමින් සිටියදී සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. දැරිය ගෙන යද්දී මොනිටරයක් ගෙන ආවේ නැතැයි කියූ මේ රෝහලේ පුදුම සේවකයෝ දැඩි සත්කාර ඒකකටය ගෙන යන හදවත වරක් නැවතුනු දැරිය රෝහලේ කොරිඩෝවේ තබා මොනිටරය ගෙන ඒමට යළි වාට්ටුවට දිව ගියේ ගතවන තත්ත්පරත් දැරියගේ ජීවිතය බේරාගැනීමට අත්‍යාවශ්‍ය බව නොසිතා විය යුතුය. දැරිය කොරිඩොවේ සිටි කාලය විනාඩි 5-10 ත් අතර බව ඇගේ මව පවසයි.
දැඩි සත්කාර ඒකකයට දැරිය ඇතුළු කළ විට එතැනින් කියා ඇත්තේ අත්‍යාවශ්‍ය එන්නතක් ලබාදීමට එන්නත් කටු නොමැති බවයි. අවසානයේ මේ මරණය සමගම පොරබදන දැරියට එන්නත් කිරීම සඳහා කරාපිටියේ දැඩි සත්කාර ඒකකයට එන්නත් කටු 10 ක් සපයා ඇත්තේ දැරියගේ පියා විසිනි. අවසානයේ දැරිය මියගියාය.
දැරියගේ ඥාතීන් වටකැරගත් රෝහල් සේවකයෝ මරණය සිදුවූයේ එන්නත විෂවීමෙන් බවත් මේ මරණය සම්බන්ධයෙන් සැකයක් නොමැති බව කියා අද සවසම සිරුර නිදහස් කැරගන්නා මෙන් බල කර සිටියේ රෝහලෙන් සිදුවූ සියළු වැරදි වසා ගැනීමෙ අරමුණෙනි.

මෙහිදී අප අවධානයට ලක්කළ යුතු කරුණු කිහිපයක්ම තිබේ.
එන්නතක් පළමු වතාවේ විෂ නොවී තුන්වන වතාවේ එන්නත් කළ විට විෂ වන්නේ කෙසේද ?
දැරිය ට්‍රොලියක තබා මොනිටරයක් ගෙන ඒමට රස්තියාදු නොවී දැඩි සත්කාර ඒකකයට ගෙන ගියානම් දැරියගේ ජීවිතය බේරා ගත නොහැකි ද ?
දැඩි සත්කාර ඒකකයේ එන්නත් කටු තිබුණානම් කඩිනමින් ප්‍රතිකාර ලබාදී දැරිය බේරාගත නොහැකි ද ?

තවත් දෙයක් මෙහිදී පැවසිය යුතුය.

මේ එන්නත කොටස් දෙකකි. කුඩක් සහ ද්‍රාවකයකි. රෝහලේ නම හෙළි කිරීමට අකමැති සේවකයකු පවසන්නේ මෙම දැරියට දීමට එන්නත සැකසූ හෙදිය භාවිතා නොකළ නිශ්චිත ද්‍රාවකය ඇගේ මේසය මත තිබූ බවයි. එසේනම් මේ හෙදිය එන්නත සකසා ඇත්තේ දැරිය සිටි ස්ථානයේම තුවාලයක් සහිත දරුවකුගේ තුවාලය පිරිසිදු කිරීමට ගෙන ආ සර්ජිකල් වලින්දැයි සොයා බැලිය යුතුය. සර්ජිකල් ද්‍රාවණයක බෙහෙත් දියකොට එන්නත් කිරීමෙන් මේ දැරියට කරන්ට් වදිනවා සේ දැනුනේ ද යන්න සොයා බැලිය යුතුය. නැතිනම් හෙට දිනයේ තවත් දරුවන් කරාපිටියේදී මෙසේ මියයනවා ඇත. 


Tuesday, January 3, 2012

නව වසර උදාවුනා

ජනවාරි 01

අළුත් අවුරුද්ද උදාවුනා. මේක කැලැන්ඩර් වර්ෂයක ආරම්භය. කැලැන්ඩරය කියන්නේ අවස්ථා ගණනාවක් වෙනස්කම් වලට භාජනය වෙලා නිර්මාණය වුනු දෙයක්. දැන් මුළු ලෝකයම එකම කැලැන්ඩරයක් පිළිගත්තත් අපි කොහොමද දන්නේ ඉස්සර අවුරුද්දට තිබුණේ දින 365 ක්මද කියලා.
කොහොම වුනත් අළුත් අවුරුද්ද කියන්නේ වෙළෙන්දන්ගේ නිර්මාණයක් කියලයි මටනම් හිතෙන්නේ. අවුරුද්ද ඒ තරමටම වාණිජ්‍ය වෙලා.
අද පළමුවැනිදා කියලා මටනම් විශේෂ වැඩක් තිබුණේ නැහැ. උදේ පත්තරේට ලිපි දෙක තුනක් ලියන්න කරුණු හෙව්වා. හවස තිබුණා එක්සත් ජාතික පක්ෂයේ රැස්වීමක් කතළුව හන්දියේ. මෛත්‍රී ගුණරත්න මහතාගේ සංවිධානත්වයෙන්. රනිල් වික්‍රමසිංහට විරුද්ධව තිබුණු මේ රැස්වීමට සිරස නාලිකාවත් සහභාගීවෙලා තිබුණා. ඔවුන්ට රනිල් වික්‍රමසිංහ ප්‍රධානය කරපු ගලත් අරගෙන රට වටේ යන්න පටන් අරගෙන.
මෙතන කැපී පෙනුනු චරිතයක් තමයි සෝම අක්කා.
සෝමා අක්කා කියන චරිතය එක්සත් ජාතික පක්ෂයේ ගාල්ලේ රැස්වීම් වාර්තා කරන ඕනම කෙනෙක් දන්නවා.
ඇය පක්ෂය වෙනුවෙන්ම කැප වෙලා ඉන්නවා. හබරාදුව ආසනයට පක්ෂයෙන් මොන සංවිධායක ආවත් එයා වෙනුවෙන් දිවි හිමියෙන් වැඩකරන සෝම අක්කාට එක්සත් ජාතික පක්ෂයෙන් ලැබුණු දෙයකුත් නැහැ. එයා දන්නේ අලියා හොදයි. කොළ පාට හොදයි . අපි කැපුවත් කොළ කියන්න විතරයි. රටේ දේශපාලන ප්‍රවාහය ගැන, ආර්ථිකය ගැන කිසිම දැනුමක් එයාට නැහැ. ඒ අහිංසක සෝම අක්කාට විතරක් නෙවෙයි රටේ බහුතරයකට මේ දැනුම නැති නිසා තමයි අපිට මේ තරම් කෙල වෙලා තියෙන්නේ

ජනවාරි 02

අද පත්තරේ අද දවසට නොමිළේ බෙදනවා. මමත් නොමිලයේම එකක් ගත්තා. අළුත් පත්තරේට තියෙන්නේ අළුත් මුහුණුවරක්. දැකපු ගමන්ම ආස හිතුනා. ඇත්තටම ඒකට ගොඩක් දේවල් ලියන්න පුළුවන් කියලා හිතුන නිසා දවල් වෙලා පත්තර කන්තෝරුවට කෝල් කරලා ප්‍රධාන කර්තෘ කාංචන දසනායක සම්බන්ධ කර ගත්තා. ‘‘අපිට ලංකාදීපෙ රාමුවෙන් වෙනස් වෙන්න කියලා තියෙන්නේ. ඒ නිසා තවම ලංකාදීපයේ අයත් එක්ක වැඩ කරන්න පටන්ගත්තේ නැහැ.‘‘ ඔහු එහෙම කිව්වා.
ඇත්තටම ඒක හොද දෙයක් කියලා මට හිතෙනවා. අපේ බොහොමයක් මාධ්‍යවේදීන් පත්තර කිහිපයකට විවිධ නම්වලින් ලියනවා. ඒ නිසා හැම පුවත් පතේම යන්නේ එකම ලිපිය. ඇතැම් අය මීට මාස කිහිපයකට පෙර එක පත්තරයකට ලියපු විශේෂාංගය පොඩ්ඩක් වචන එහා මෙහා කරලා තවත් එකකට ලියනවා. තව සතියකින් දෙකකින් තවත් එකකට ඒකම ලියනවා. මේක ලොකු වරදක්. එහි ප්‍රතිඵල භයානකයි. ඒ නිසා විජය පුවත් පත් සමාගමෙන් ආරම්භ කරපු අද පුවත්පතේ ස්ථාවරය හොදයි කියල මම හිතනවා.

ජනවාරි 03

අද උදේම කිතුලම්පිටිය ආනන්ද විදුහලේ ළමුන් සහ දෙමාපියන් පිරිසක් පාරට බැහැලා. ඔවුන් තමන්ගේ පාසල යළිත් ඉල්ලනවා. ආනන්ද විද්‍යාලයේ හයවැනි වසර ඊයේ සිට ඉවත් කරලා. ඊයේ පාසල් ගියාට පස්සේ තමයි ඒ ළමයි දන්නේ තමන්ට පාසලේ ඉඩක් නැති බව. ඔවුන්ට වාඩිවෙන්න පුටුවක් නැහැ. උගන්වන්න ගුරුවරයෙක් නැහැ. අද දෙමාපියන් සමග මේ ළමුන් එළියට බැහැලා. ඔවුන්ට උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයට යන්න සිදුවෙනවා කියා දෙමාපියන් මැසිවිලි නගනවා. මේ අවස්ථාව වාර්තා කරන්න අපේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම ගිහින් හිටියා.
මෙතෙන්දී අපේ අය අනුමත කළ නොහැකි දේවල් කරනවා. කොහේ හරි පාසලක් වෙනුවෙන් යම් පිරිසක් උද්ඝෝෂණය කරනවානම් විද්‍යුත් නාලිකා වලින් කියන්නේ ලොකු දෙයක් වුනේ නැතොත් වැඩක් නැහැ කියලා . දැන් අපේ අය මේ අහිංසක මිනිසුන් ලවා ලොකු දේවල් කරවනවා. අදත් ඒ දේම වුනා. අහිංසක විදියට පාසල ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුණු අය කලේගානේ පිහිටි කලාප කාර්යාලයට ගියේ පා ගමණෙන්. විද්‍යුත් නාලිකා වලට මේ නිසා හොද රූප රාමු ලැබුණා.
ඒ වගේම ටික වේලාවකින් පාර මැද ටයර් කිහිපයක් ගිනිබත් වුනා. ටයර් ගිනි තියපු එක පිටිපස්සෙත් අපේම මාධ්‍යවේදියෙක් ඇති කියල තමයි මට හිතෙන්නේ.

Wednesday, December 28, 2011

මාධ්‍යවේදියා තෝරාගන්නා නිලධාරීන්

ගොඩක් දවසකට පස්සේ මාධ්‍යවේදියාගේ සටහන් නැවත ආරම්භ කරන්න හිතුවා. එන අවුරුද්දේනම් දිනපතා ලියාගෙන යන්න අදිටන් කරනවා. මාධ්‍යවේදියකු ලෙස අපිට මුහුණ පාන්න සිදුවන දේවල් වෙනත් වෘත්තියක නියැලෙන්නන්ට මුහුණපාන්න නොලැබෙන නිසා මේක එක්තරා විදියකට බොහෝ දෙනෙකුට වැදගත් වේවි.
අද උදේ පාන්දරින්ම දුරකථන ඇමතුමක් ආවා. කථා කරපු කෙනා අහනවා අදුන ගන්න බැරිද කියලා. කොහේ අදුනන්නද එයාගේ අංකය මා සතුව තිබුණේ නැහැ. ටිකකින් කියනවා අපූරු ප්‍රවෘත්තියක් දෙන්න තියෙනවා ඒ නිසා එයාගේ කාර්යාලය පැත්තේ එන්න කියලා. කාර්යාලය ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය.
පැයකට විතර පස්සේ මම ගියා. ඔවුන් මා බලාපොරොත්තුවෙන් ඉදලා.
මම පාරිභෝගික අධිකාරියේ ප්‍රවෘත්ති ගන්න නිතර නිතර යන කෙනෙක් නෙවෙයි. නමුත් බීට්ටු වාර්තාකරණයට පුරුදු වෙලා ඉන්න අය ඔවුන් සොයාගෙන නිතර ගිහින් මොනවා හරි ලියනවා.
අපි මේක දෙන්නේ ඔයාටම විතරයි. වෙන කාටවත් දෙන්නේ නැහැ. ඔවුන් මා සමග එසේ කීවා.
ඇයි ඒ මම ඇහුවේ විමතියෙන්.
නෑ මෙහෙට එන අය නිකම්ම නිකම් ප්‍රවෘත්තිය ලියනවා. නමුත් අපිට මේක ටිකක් මිනිස්සුන්ට දැනෙන විදියට ලියන්න ඕන.
අපි අතර වැඩි ඇසුරක් නොතිබුණත් ඔවුන් මගේ ලේඛණය ගැන විශ්වාසය තැබීම සතුටක්. මම වැඩේ බාර ගත්තා.
කතන්දරේ මොකක් ද කියලා මම කියන්නම්
නීති විරෝධී ළදරු කිරිපිටි වර්ගයක් ලංකාවේ වෙළද සැල් වලට ඇවිල්ලා.
යම් කිිපිටි වර්ගයක් මෙරට විකුණනවානම් ඒ කිරපිටි ඇසුරුමේ සදහන් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා
ඉන් එකක් තමයි මව්කිරි ලබාදීම පෝෂ්‍යදායී බව.
ඒ වගේම කිරිපිටි මව්කිරි වෙනුවට ආදේශකයක් බව සදහන් නොවිය යුතුයි. ඒ වගේම මාස හයකට වඩා අඩු දරුවන්ට මේවා ලබාදෙන බවක් සදහන් කරන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. තවත් දෙයක් තියෙනවා කිරිපිටි වර්ගය සාදාගන්නා ආකාරය සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සදහන් විය යුතුයි. ඒ වගේම වරක් සාදාගන්නා ලද පිටි තියාගෙන ඉදලා භාවිතා කරන්න බැරිබවත් මේ ඇසුරුමේම දැක්විය යුතුයි.
පාරිභෝගික අධිකාරියේ නිලධාරී මහත්වරුන්ට හමුවෙලා තියෙන මේ කිරිපිටි වර්ගය මේ ඉහත මම කියපු කාරණා සියල්ල උල්ලංඝනය කරලා. මේ කිරිපිටි ඇසුරුමේ එකම සිංහල වචනයක්වත් නැහැ. ඒ විතරක් නොවෙයි ඉංග්‍රීසි භාෂාවත් මෙහි දක්නට නැහැ. අරාබි රටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරපු කිරිපිටි වර්ගයක් තමයි මේ විදියට ගෙන්වලා තියෙන්නේ. ඔවුන් මගෙන් ඉල්ලා සිටියේ ලංකාව පුරා දෙමාපියන් මේ පිළිබදව දැනුම්වත් වන පුවතක් පලකරන්න කියලා. ඔන්න මම වැඩේ බාරගත්තා. බලමු මොනවද වෙන්නේ කියලා.

Wednesday, September 29, 2010

වදුරාට කළ ශල්‍යකර්මය






ෙම් ෙද් සිදුෙවලා ටික දවසක් ෙවනවා. හදිසිෙය්ම මට දුරකථන අැමතුමක් අාවා. ඒයින් කියවුෙණ් උණවටුන ගුරැ විද්‍යාලෙය් වදුෙරක් ඉන්නවා කියලා. අපි වහාම ගියා. ඒ් වදුරෙග් අතක ෙලාකු තුවාලයක්.අපි වදුරා අල්ලලා ෙෙවද්‍ය වරියක් ලගට ගිහින් ශල්‍ය කර්මයක් කළා.
වදුරා තුවාල වුෙණ් ෙකාෙහාමද කියලනම් අපි දන්ෙන් නැහැ. ඒ්ත් ෙම් වදුරා බිම ඉන්නෙකාට තමන් ලගින් යන හැෙමා්ටම තුවාල ෙවච්ච අත ෙපන්නලා. ඊට පස්ෙස තමයි ගුරැ විද්‍යාලෙය් ශිෂ්‍ය ගුරැවරැ අපිට කථා කෙෙළ් . ඉතින් අපි අෙප් යුතුකම් ෙකාටස ඉටු කළා.