Monday, January 5, 2009

ආදරවන්තයාගේ වේෂයෙන් එන මාරයා



තව ටික දවසකින් රටපුරා හැම තැනම ගොඩාක් ලස්සන මලක් පිපිල තියෙනවා දැකගන්න පුළුවන්. ඇත්තටම ඒ මල් පොකුරැ පිපුණු ගස් පුදුම ලස්සනයි. මේකට කියන්නේ වැලන්ටයින් ට්‍රී හෙවත් ආදරවන්තයන්ගේ ගස කියලා. ඒත් මේ ගස පිටුපස තියෙන කථාව ඉතාමත්ම භියකරැයි.
මේක අපේ රටට ආගන්තුක ශාඛයක්. ආදරවන්තයන්ගේ දිනය සමරන වකවානුවේ මලින් බරවන නිසා මෙය වැලන්ටයින් ශාඛය ලෙස හදුන්වනවා. මැලේසියාවෙන් ලංකාවට ගෙනාපු මේ ගස දැන් හැමතැනම පැතිරිලා. තද කොළපාට පත්‍රයේ යටි පැත්ත දම්පාට නිසා මේක පහසුවෙන් හදුනාගන්න පුළුවන්.
ඵල හට නොගත්තත් මුල් වලින් පමණක් නොවෙයි ඉතාමත්ම පුංචි ඉති කෑල්ලකින් පවා පැලවෙන මේ ගස වදකිරීම සිහිනයක් වෙලා. මැලේසියාව වගේ රටවල මේ ගස විනාශ කරන්න කෝටි ගණන් මුදල් වියදම් කළා. ඒ නිසා අපි මේ වතාවෙත් මල් පිපෙන වැලන්ටයින් ශාක සියල්ල විනාශ කරමු. මෙය පරිසරයට ඉතා අහිතකරයි. පරිසර අමාත්‍යාංශය මෙය වද කළ යුතු ශාඛයක් ලෙස නම් කර තිබෙනවා.
කරන්න තියෙන එකම‍දේ ගස උගුල්ලා ගිනිතබන එක. නැතිව මෙය විනාශ කරන්න බැහැ.
වසර 2000 දී මේ ශාඛයේ අවදානම් තත්වය පිරික්සන විට අවදානම් තත්ව හතක් දක්නට ලැබුණා. 2006 නැවත එහි අවදානම් තත්වය බලන කොට එය අවදානම් තත්ත්ව 11 බවට පරිවර්තනය වෙලා. ඉතින් ශාකය කොතරම් අපිට හානිකරද කියා අටුවා ටීකා අවශ්‍ය නැහැ.
අපි අපේ රටට ආදරය කරනවානම් ‍......... අපේ ස්වභාවික පරිසරය අපේම දරැ පරපුරට ඒ ආකාරයට උරැම කළ යුතුයැයි කියන මතයේ ඉන්නවානම් අපි මේ ශාකය විනාශ කර දමමු.

................. අනේ හාමුදුරැවනේ...................


අතහැර,
සටන් පාඨ........
නවතා,
ජය ඝෝෂා හඩ...
අනේ හාමුදුරැවනේ........
කියලා දෙනවද මට............ ?
බුදු බණ ඩිංගත්තක්.....

ජනවාරි 04 - එකතුවීමේ අවශ්‍යතාව

මහ ඇමැති තුමාගේ ලැප්ටොප් සිද්ධියෙන් පස්සේ අපේ අය නැවත සංවිධානය විය යුතුයැයි හඩක් නගනවා. ඒක හොද ප්‍රවණතාවක්. අතීතයේ පටන් ගත්තු මාධ්‍ය සංවිධාන පහක් විතර ගාල්ලේ තිබුණා. ඒත් ඒවා අඩපණයි. අපි අළුතෙන් එකක් පටන් ගත්තා. සියළුම දෙනා ඒකට සහභාගිවුනේ අළුත් පරපුර ගැන විශ්වාසය තියලා. ඒත් අපිට කාර්යබහුලත්වය නිසාම වැඩක් කරන්න බැරිවුනා. දැන් යෝධ ශක්තියක් එකතුවෙලා. වැඩක් කරමු කියලා හැමෝම කියන්නේ අවංක හැගීමෙන්. අපි එකා වගේ ඉන්නවානම් ඒකේ ශක්තිය ලැබෙන්නේ දුක්විදින ජනතාවට.............. හඩක් නැති මිනිසුන්ට හඩක් වෙන්න අපිට පුළුවන්...........

ජනවාරි 03 දා - මණ්ඩලේ කචල්

මාතර අපේ සහෘදයා පොලිස් ඇප මත මුදා හැරීමට අපේම කට්ටියක් විරැද්ධ වෙලා. පොලීසියෙන් ඉල්ලලා තියෙනවා අපේ මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.
මේකට හේතුවක් තියෙනවා. බොරැ වැරැද්දට පැටළුණු සගයා අති දක්ෂයෙක්. ඔහුගෙන් මග හැරෙන කිසිම පුවතක් මාතර දිස්ත්‍රික්කයේ කො‍හේවත් නැහැ. ඒ නිසා අපේ සාම්ප්‍රදායික මාධ්‍යවේදීන් ඔහුත් සමග තරහයි. ඉරිසියයි. මේ නිසා ඔවුන් බලන්නේ කල දුටු කල වල ඉහ ගන්න.
එක්තරා පුද්ගලයෙක් මේ සම්බන්ධයෙන් මටත් කථා කළා. ඔහු කියන්නේ අපේ මාධ්‍ය සගයා ඇත්තටම වරද කරැවෙක් කියලා. මම හිනාවෙලා නිකන් හිටියා. ඔහු වරදක් කර ඇත්නම් උසාවියෙන් දඩුවම් දේවි අපි ඉවසෙගන ඉදිමු කියලා මම ඔහුට නැවතත් කීවා. ඒත් ඔහු මට කියන්නේ නෑ එයාට එරෙහිව නැගී සිටින්න ඕන කියලා. හැබැයි මේ කියන කෙනාගේ අතිනි දූෂණය වුණු කිසිම කාන්තාවක් පොලීසියට ගිහින් නැහැ. ඔහුගේ ජංගම දුරකථනයේ තිබුණු නිරැවත් ඡායාරෑප මම මාස කිහිපයකට පෙර දුටුවා. ඉතින් මම මොනවා කියන්නද ........... ?
සත්‍රී දූෂක මාධ්‍යවේදියාට නිසි දඩුවම් දෙනු කියලා මාතර පෝස්ටර් ගහල කියලා හවස ආරංචි වුනා. ඒ පෝස්ටර් ගැහුවේ කව්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. වරදකරැවන්ට කාලයාගේ ඇවෑමෙන් දඩුවම් ලැබේවි.

ජනවාරි 02 දා - පොලිස් නීතිය

අද දවසේ මොන විජ්ජුම්බරයක් වේවිද කියලා හිත හිතා අවදි වෙන කොට ආරංචි වුනා අධිවේගී මාර්ගයේ වැඩකරන විදේශිකයෝ වගයක් අපේ ගම්වල කෙල්ලන්ගේ නිරැවත් ඡායාරෑප අරගෙන රට යවලා කියලා. ඉතින් මේකට සම්බන්ධ කිහිප දෙනෙක්ම පොලීසියට ගේනව කියලත් ආරංචි වුනා. අනේ තකහනියක් අපි එ‍තැනට යනකොට කවුරැවත් නැහැ. පොලීසියේ හැමෝම කියන්නේ එහෙම දෙයක් නැහැ කියලා. අපිට විස්තර කිසිවක් හොයා ගන්න බැහැ. සමහරැ කියනවා ඕක පරණ සිද්ධියක්නේ කියලා. කොහොම වුනත් මට ආරංචිය දීපු හිතවතාට මම නැවත ඇමතුමක් ගත්තා. ඔහු පොලීසියට වඩා දේවල් දැනගෙන හිටියා. ඒත් ඔහු අවසානයට මෙන්න මෙහෙම කිව්වා.
මචං මේක යටගහන්න පොලීසිය ට්‍රයි කරනවා. ඒ නිසා අපි කොහොම හරි මේක හොයා ගනිමු.
අපි දන්නේ නැහැ පොලීසිය ඇයි වරද කරැවන් බේරන්න හදන්නේ කියලා.........................

ජනවාරි 01 දා - මාධ්‍ය මර්ධනය හා බදාගෙන කෑම

අපේම මාධ්‍යවේදීන් සමග වැඩ කරන්න ගියහම ඔලුව අවුල් වෙනවා. ඒ නිසා ටික කාලයක් ති‍ස්සේ හිතාගෙන හිටියා දිනපතා ලැබෙන මාධ්‍ය අත්දැකීම් පොතකට ගොනු කරන්න ඕන කියලා. ඒත් ඒකට කාලයත් වෙලාවත් හොයාගන්න බැරැව හිටියේ. දැන් ඉතින් ඒ වැඩේ මේ විදියට පටන් ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. මේ සටහන තියන්නේ ජනවාරි 05 වැනිදා. ඒත් ජනවාරි මාසයේ 01 වැනිදා ඉදල සිදුවූ වැදගත්ම සිදුවීම් කිහිපයක් මේ විදියට සටහන් කරන්න පුළුවන්වේවි කියලා හිතනවා. මොකද ඒ ටික මට තාම මතකයි.

ජනවාරි 01 දා

දවස උදාවුනේ පුදුමාකාර කලබගෑනි කිහිපයක පෙරනිමිති පල කරමින්. මීට මාස හතරකට පෙර මාතර දිස්ත්‍රික්කයේ එක්තරා පොලිස් ස්ථානාධිපති වරයෙක් හොර ලී තොගයක් අරගෙන තමන්ගේ ගෙදර හදන්න අරගෙන යද්දී ‍තවත් පොලීසියකට කොටුවෙලා. ඉතින් මේ සිදුවීම අපේ සහෝදර මාධ්‍යවේදියෙක් පත්තරේට ලියල තිබුණා. මේ ස්ථානාධිපති වරයා අපේ මාධ්‍ය සගයාට තර්ජනය කරල තිබුණා. උඹට හොදින් ඉන්න දෙන්නේ නැහැ කියලත් තිබුණා. ප්‍රතිඵලය ආවේ ඊයේ 31. තරැණියක් බලෙන් රැගෙන ගොස් දූෂණය කිරීම, රන් භාණ්ඩ පැහැර ගැනීම සහ නිරැවත් ඡායාරෑප ගැනීම යන චෝදනා යටතේ අපේ මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගත්තේ අර ස්ථානාධිපතිවරයා.
පැමිණිළිකාර කාන්තාව මාතර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියා. අපේ මනුස්සයා ‍පොලිස් කූඩුවේ. 01 දවසේ වරැවක්ම ගතවුනේ මේ සිදුවීමට. ඔහු මෙයට වරදකරැ වුණොත් අවුරැදු 20 ක් පමණ බන්ධනාගාරයේ තපින්න වෙන බව අපි දැනගෙන හිටියා.
සුලමුල හොයාගෙන යනකොට කාන්තාව පිළිගත්තා ස්ථානාධිපති වරයාගේ උවමනාවට තමන් පැමිණිල්ලක් කළ බව. මාතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී වරයා‍ගේ මැදහත් වීමෙන් සිදුවූ පරීක්ෂණයකට පසු අපේ මාධ්‍යවේදියා ඇප මත මුදා හැරියා. අනාගතයේදී කවුරැ වරදකරැ වේදැයි අපි දන්නෙ නැහැ. මාධ්‍ය මර්ධනයේ පුංචි පුංචි අතු ඉති හැමතැනම පැවෙලා
හවස්වරැව ගතවුණේ තවත් මාධ්‍ය සටනකට. ඒ අපේම සහෝදර මාධ්‍යවේදියෙක් කරපු වැරදි වැඩක් නිසා. දකුණු පළාතේ ප්‍රමුඛ මාධ්‍ය සංවිධානය කියලා සංවිධානයක් පටන් ගත්තේ 2005 දී. මේකේ සභාපති අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය‍වේදියකු වන කමල් විජේහේවා. ඔහු අපේ සගයන්ට පොරොන්දු වුනා හැමෝටම ජංගම දුරකථන අරගෙන දෙනව කියලා. ඒකනම් නැති වුනත් කමක් නැහැ. ඒත් මේ සදහා පළාතේ ප්‍රධාන ඇමැති තුමාගෙන් රැපියල් ලක්ෂ දෙකක් ලැබුණා. සල්ලි ලැබිලා මාස පහක් යනකන් රැස්වීම කැදවන්නේ නැතුව අපේ සභාපති තුමා ජංගම පරිගණක හෙවත් ලැප්ටොප් දෙකක් මිලදී ගන්න සූදානම් වුනා. අපි මෙයට විරැද්දව ඇමැති තුමාට ලිපියක් භාර දුන්නා. උත්තරයක් නැහැ. අපි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළා. තවමත් උත්තරයක් නැහැ. අවසානයේ ඇමැති තුමාගේ ජංගම දුරකථනයට කථා කළා. අපි කිව්වේ ‍මේ උපකරණ පුද්ගලික පරිහරණය සදහා යොදවන්න එපා පොදු ස්ථානයක තබන්න කියලා. ඒකට දිස්ත්‍රික් ලේකම් තුමා තැනක් දෙන්නත් පොරොන්දු වුනා ඒත් ඇමති තුමාගේ මාධ්‍ය ලේකම් කියන්නේ රාජ්‍ය ආයතනයට ප්‍රතිපාදන දෙන්න බැහැ කියලා. ඒත් පුද්ගලයකුට ප්‍රතිපාදන දෙන්න පුළුවන්ලු. අවසානයේදී දේශපාලකයන්ගේ හිතවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ගෙන්වලා අර ලැප්ටොප් දෙක දුන්නා. අපි විරැද්ද වුනා. සභාපති තුමා මගේ බෙල්ල ගලවලා අතට දෙනවා කිව්වා. ඒ ඇමැති තුමාගේ හයිය වෙන්න ඇති. ඒත් ඔය කවුරැත් මැතිවරණයෙන් පස්සේ වෙනස් වෙනවා. ඒත් අපි මැරෙන තුරැ රස්සාව කරනවා. අපේ පෑන හොදට ශක්තිමත්. ගරැ ඇමති තුමනි ! ඔබ තුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව මාධ්‍යවේදීන් දෙදෙනකු වෙනුවෙන් ලබාදුන්නේ මහජන මුදල්. මේක මාධ්‍ය අයථා ලෙස පරිහරණය කරන්නත් මාධ්‍ය මර්ධනය කරන්නත් ගන්නා තවත් උත්සාහයක් ලෙසයි අපිටනම් පේන්නේ...........................