Saturday, December 26, 2009

සුනාමියට පස් වසරයි.


අදින් වසර පහකට පෙර සුනාමියෙන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ විනාශ වෙලා ගියා. ඒක නපුරැ හීනයක් වගේ. මම සුනාමියට සෘජුවම හසු නොවුනත් එහි භයංකර බව අත්වින්දා. අද උදේ 9.25 ට මුළු ලංකාවම විනාඩි දෙකක් නිශ්ශබ්දව සිටිමින් සුනාමිය නැවත සිහිපත් කළා. ඒ වෙලාවේ මම හිටියේ ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට.
එදා සුනාමියට බිමට සමතලා වුණ බස්නැවතුම් පොළ අවුරැදු පහක් ගිහිල්ලවත් හදන්න අපේ නායකයන්ට හැකියාවක් ලැබුණෙ නැහැ.
බස් නැවතුම්පොළ හදනවා කියල පුරසාරම් දොඩපු එක්තරා ඇමතිවරයෙක් සුනාමියේ අවුරැදු පහ සමරන වෙලාවේ ගාල්ල සමනළ ක්‍රීඩාංගණේ සැණකෙළික් සූදානම් කරලා. ගාලු සමය කියල ඒකට කිව්වට අපිනම් කියන්නේ ගාලු සමයම කියලා. සුනාමියෙන් මියගියපු අය සමරන්න සිදුවූ විනාශය සමරන්න කරන සැණකෙළියක්.
ඒ සම්බන්ධයෙන් අද අපූරැ වැඩක් වුණා. මේ ඇමතිවරයා කවදාවත් ගාල්ලේ ඉන්න මාධ්‍යවේදීන්ට තමන්ගේ වැඩ කිසිවක් කියන්නේ නැහ. වලව්වට අනිත් අය ගැලපෙන්නේ නැති නිසා වෙන්න ඇති. එත් අද සුනාමි නිසා කොළඹින් ලොකු ලොකු මාධ්‍යවේදීන් ගෙන්නව ගන්න බැරැව ඊයේ රාත්‍රී අපේ අයට දුරකථනයෙන් දැනුම් දීලා. ඒ කියල තියෙන්නෙත් තෝරාගත්තු කිහිප දෙනෙකුට විතරයි.
අපි සාමූහික තීරණයකට එළඹුනා. කිසිම මාධ්‍යවේදියෙක් ගාලු සමයමට ගියේ නැහැ. කවුරැ හරි ගියානම් ඒ ඉතින් ......................................... අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
සුනාමියට පස් වසරක් සම්පූර්ණ වුණු වෙලාවේ ගාල්ල නගරය නිශ්ශබ්ද වුණු හැටි දැක්වෙන ඡායාරෑපයක් තමයි මේකේ පල කළේ.

Friday, December 25, 2009

ජනරාල්ට විරෝධයක්


අද හරිම මහන්සි දවසක්. සුනාමි සංවත්සර දිනය හෙටට යෙදී තිබෙන නිසා පත්තරේට ඒකට අදාලව ලිපි කිහිපයක්ම ලිව්වා. ගාල්ල සුනාමියෙන් විනාශ වුනේ අපේ ඇස් පනා පිටම. ඒත් අපේ දේශපාලකයන්ට සුනාමියට වැනසීගියපු ගාල්ල නගරය හදාගන්න තාමත් බැරිවුනා. ලිපිය ලියනකොට තමයි මේ ගැන ඇත්තටම දුක හිතුනේ. මොනව කරන්නද ?
මහ දවාලේ තවත් වැඩක් තිබුණා. ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට විරෝධතාවක්. ප්‍රදේශයේ දේශපාලන බලවතෙක් මෙය සංවිධානය කළේ. හේතුව ජනරාල් සරත් පොන්සේකා කළායැයි කියන ප්‍රකාශය. ජනරාල් එවැනි ප්‍රකාශයක් නොකළ බව කියාසිටියා. තමන් ජනරාල්ගේ ප්‍රකාශය පුවත් පතේ සටහන් කළේ වැරදීමකින් බවත් එය කරැණු තෝරාබේරා ගැනීමකින් තොරව සිදුවූවක් බවත් සන්ඩේ ලීඩර් පුවත් පත පසුව තම මුල්පිටුවේම සටහන් කර තිබුණා. නමුත් ආණ්ඩුව දැන් ඒක කියන්නේ නැහැ. වෙනදා රජය කැලෑ පත්තරයක් යැයි කියපු සන්ඩේ ලිඩර් පත්තරේ තිබුණු කතාවක් උපුටා ගනිමින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා යස අපූරුවට.
ඒත් අපිට ආරංචි විදියටනම් ඒ පත්තරේ නිවැරදි කිරීම ජාත්‍යන්තරයට පෙන්වා දීල තියෙන්නේ මේ ආණ්ඩුවමයි. රටේ මිනිස්සුන්ට කියන්නේ වෙන කතාවක්. මේක තනිකර දේශපාලන බංකොලොත්බව කියලයි මට හිතෙන්නේ.
රෝහලක් ලග වාහනයක නලාව නාදකිරීමත් තහනම් නමුත් මේ අය ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන උද්ඝෝෂණය කළා. සංවිධානය කරපු අයනම් කිව්වේ දහසක් විතර මේකට ඇවිත් හිටියා කියලා. නමුත් මම සියළුම දෙනාව ගණන් කළා. පැමිණ සිටියේ හරියටම 186 යි. එයින් 20 ක් විතර සංවිධායකයෝ. තවත් 15ක් විතර ප්‍රාදේශීය දේශපලාකයෝ. ඉතින් හිතාගන්න පුළුවන්නේ.
මේක මහ විහිළුවක්
මගේ ඡන්දය දෙන්නේ කාටද කියලා නැවත නැවතත් සිතා බැලිය යුතුයැයි මම තීරණය කළා.

Wednesday, December 9, 2009

යුද්දෙට ගිය සෙබළා

මට හදිසියේම වැලි ඔය යන්න අවස්ථාවක් ලැබුණා. මම හිතුවෙ මේ ගමන අවසර ඇතිව යන ගමනක් කියලා. නමුත් අපිට නිසි අවසරයක් තිබුණෙ නැහැ. ඒ නිසා ගියපු වැඩේ අතරමග දාලා නැවත ආපසු එන්න සිද්ද වුනා. මේ එද්දී අපූරැ සෙබළෙක් හමුවුණා.
මම ඔහු ගැන සටහනක් තැබිය යුතුමයි. ඔහු ශ්‍රී ලංකා හමුදාවේ එක් සෙබළෙක් පමණක් වුවත් යුද්ධයට මුහුණ දීපු සමස්ථ සෙබළුන්ගේ කථාන්තරයෙන් කොටසක් ඔහු මා සමග කියා සිටියා.
මට ඔහු හමුවන විට ඔහු සිටියේ ඉතාමත්ම සතුටින්. මාත් එක්ක ඔහු කථාවට වැටුණා. මම ඇහුවා ගම් පළාත කොහේද කියලා. අනුරාධපුරයේ දුෂ්කර ගම්මානයක්. නමුත් තවත් දවස් පහකින් ඔහුගේ පදිංචිය වැලි ඔයලු. මම ඇහුවා ඇයි කියලා. ඔහු කියපු කථාවට මට ඇඩුණේ නැහැ. ඒත් ඒක අඩන්න හිතෙන කථාවක්.
මම ඔහුගේම වචන වලින් කියන්නම්.
මම දැන් හමුදාවට බැදිලා අවුරැදු අටක් වෙනවා. මේ අවුරැදු අටෙන් වැඩිම කාලයක් හිටියේ යුද බිමේ. මම යාළු වෙලා කසාද බැන්දා. වතාවක් මම තුවාල වුනා. මට වෙඩි වැදෙන කොට මගේ නෝනට ළමයෙක් ලැබෙන්න හිටියා. එයා ගොඩක් බය වුනා. මට සිහිය එන කොට එයා මගේ ලග හිටියා. ඒත් එයාගේ හිතට ආපු බය නිසාම එයා ලෙඩෙක් වෙලා. සැරින් සැරේට බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. අන්තිමේද මගේ පුතා මන්ද මානසික ලමයෙක් වුනා. දොස්තරලා කිහිපදෙනෙකුටම පෙන්නුවා. හැමෝම කිව්වේ නෝනා ගොඩක් බය වෙච්ච නිසා එහෙම වෙන්න ඇති කියලා.
මම ආපහු යුද්දෙට ගියා. ඒ ළමය ලොකු වෙද්දී අපිට දෙවැනි දරැවා ලැබුණා. එයා හොදින් ඉන්නවා. ඒත් නෝනා යුද්දෙට හරිම බයයි. එයා නිතර නිතර ලෙඩ වෙන්න ගත්තා. දැන් දොස්තරල කියනවා එයාට සැරින් සැරේට පිස්සු හැදෙනවා කියලා.
මම මාස ගාණක් යුද්ධ කරද්දී එයා දරැ‍වො දෙන්නා එක්ක ගෙදර තනියම. දැන් යුද්දෙ ඉවර නිසා මම මේ පැත්තේ පොඩි ගෙයක් කුලියට ගත්තා. දැන් මට මගේ නෝනයි දරැවො දෙන්නයි මෙහේ එක්කගෙන එන්න පුළුවන්.
මට මුළින්ම වෙඩි වැදුණු වෙලාවේ මම හමුදාවෙන් ඉල්ලුවා මට ගෙවල් පැත්තට මාරැවක් දෙන්න කියලා. ඊට පස්සේ නෝනා ලෙඩ වුනාම මාරැවක් ඉල්ලුවා. ඒත් ඒ කිසිම ඉල්ලීමක් පලක් වුනේ නැහැ. මේක අපි ලබා උපන් හැටි වෙන්න ඇති.
අපි දුප්පත් කම නිසා හමුදාවට ආවේ. ඒත් යුද්දෙ කරන කොටනම් රට වෙනුවෙන් මැරෙන්න වුනත් සූදානමින් හිටියේ. අන්තිමේදී අපිට ඉතිරිවෙන්නේ දුක විතරයි.

මම මේ ගැන මගේ අදහස් කිසිවක් නොකියමි. අදහස් ප්‍රකාශ කිරීම ඔබට භාරයි.