Tuesday, April 6, 2010

ප්‍රතිපත්ති ගැන නොසිතා දෙන ඡන්දය - 2

අපේ රටේ ඡන්ද දායකයෝ තමන්ට ලැබී ඇති සර්වජන ඡන්ද බලය කියන දේ පාවිච්චි කරන ආකාරය ගැන මම ලබපු අත්දැකීම් සටහන් කරන දෙවැනි අවස්ථාවයි මේ. මගේ යාළුවෙක් ඉන්නවා. එයා මුස්ලිම් ජාතිකයෙක්. හරිම හිත හොද මනුස්සයා. මෙයා මට කියනවා මුස්ලිම් කොන්ග්‍රසය එකතුවෙන්නේ මොන පක්ෂයටද මම ඒ පක්ෂයට ඡන්දය දෙන්නේ නෑ කියලා. මම කිව්වා උඹනම් මාර බඩුවක්නේ ඇයි ඒ කියලා. අනේ මන්දා එදා ඉදලම මට උන්ව පේන්න බැහැ කියලා තමයි මිනිහා උත්තරදුන්නේ. එයාට පැහැදිලි හේතුවක් නැහැ.
මට මේ ලගදී දවසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉතාමත්ම ජනප්‍රිය තරුණ අපේක්ෂකයකුගේ නිවසේදී (තරුණයි කිව්වට 40 පැනලා) ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෙක් හමුවුනා. මිනිහා මාව දැකලා ටිකක් වසන් වෙන්න උත්සාහගත්තත් මම එයා එක්ක කතා කළා.
මල්ලී මොකද මෙහේ. මම ඇහුවා.
ගෙදරින් බේරුමක් නෑ අයියේ.... රස්සාවක් හොයාගන්න කියලා. අම්මලාගෙන් වදේ කොහොම හරි මෙතුමාට සෙට් වෙලා දිනුවම රස්සාවක් හොයා ගන්න කියලා කියනවා. ඒ නිසා මම ආවා.
මේ පුද්ගලයා ඒ අපේක්ෂකයා වෙනුවෙන් ගෙයින් ගෙට ගියා දින දහයකට වඩා. ඔහු බලාපොරොත්තු වෙන්නේ රැකියාවක්. ඒත් අර අපේක්ෂකයා මන්ත්‍රීවෙලා ඇමති කෙනෙක් වුනත් රස්සාවක් දේවිද ?
මේ පාර ඔයාගේ ඡන්දේ බුලත් කොලේට නේද මම ඇහුවා.
හිනාවෙලා මගේ කණට කොදුරලා මිනිහ කිව්වේ. පිස්සුද අයියේ මුන්ට වැඩකරනවා කියලා පෙන්නලා කුසලානෙට ඡන්දෙ දෙනවා
අපේ පත්තර කාරයෙක් ඉන්නවා. අහින්සක මනුස්සයා. මිනිහා කියන්නේ එයා රජයේ මාධ්‍යවේදියෙක් කියලා. මෙයා පසුගිය පළාත් සභා මැතිවරණයේදී හිටපු සහ වර්තමාන මහ ඇමතිවරයාට විරුද්ධව ඡන්ය දුන්නා විතරක් නෙවෙයි හැමතැනම ඔහුව විවේචනය කරමින් ගියා. ඒත් ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට බැහැලා වැඩ. දැන් පොදු පෙරමුණට බැහැලා වැඩ. මම ඇහුවා මේ ඇයි කියලා. එයා කොහොමත් ශ්‍රී ලංකා කාරයාලු. මහ ඇමතිතුමාගෙන් දූට රස්සාවක් ඉල්ලුවාලු ඒක දුන්නේ නැති නිසා විරුද්ධව වැඩ කළාලු. ඒත් පක්ෂය දිනවනවාලු.
මේ තවත් පත්තර කාරයෙක් විදෙස් රටක සේවය කරලා මෑතකදී ලංකාවට ආපු මෙතුමා අපත් සමග එක්තරා අපේක්ෂකයකුගේ රාත්‍රී සුහද හමුවකට සහභාගී වුනා. මාධ්‍යවේදීන් හැටියට අපි කාටවත් කඩේ යායුතු නැහැ. ඒ වගේම කවුරැ දිනුවත් පැරදුනත් අපිට කමක් නැහැ. මේ අපේක්ෂකයා කතාවක් පවත්වලා ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදින්ට අවස්ථාව දුන්නා. මෙන්න අපේ මේ කියපු සහෘදයා නැගිට්ටා. ඔබතුමා තමයි ලැයිස්තුවේ පළමු වෙනියා. ඒ වගේම අපි ඔබතුමාට ඇමතිකමක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කියමින් මාර සුදු හුණු ගෑමක් කළා. එයා නැවැත්තුවා විතරයි තවත් එක්කෙනෙක් නැගිට්ටා. එයත් කියන්න ගත්තා තමන්ට අපේක්ෂකයාගේ පියාගෙන් ලැබුණු උදව් සහ ඒවාට තමන් කළ කෘතගුණ සැළකීම් මුන් දෙන්නාම මාධ්‍ය ජීවිතයම පාවලා දෙද්දී අපි නැගිට්ටා. අපි දෙන්නෙක් නැගිටලා එළියට බහින කොට අපේ පිටිපස්සෙන් තවත් 20 ක් විතර කොන්ද පණ තියෙන මාධ්‍යවේදීන් ආවා. අර දෙන්නා මතක ඇති කාලෙකනම් ආපහු ඒ වගේ වැඩක් කරන එකක් නැහැ. අපි ඒ අපේක්ෂකයා එක්ක අමනාපයක් නැහැ. ඒත් කරන්න තිබුණු හොදම දේ ඒ වෙලාවේ කළා.
මට තවත් අපූරු පුද්ගලයෙක් මුණ ගැසුණේ ගාල්ලේ ටිකක් දුෂ්කර ගමකදී මේ මනුස්සයාගේ ගෙදරට අපි ගොඩවුනේ වැස්සකට. මෙයාට වයස අවුරුදු 75 ක් විතර ඇති. එයා ඡන්දෙ දාන්න දන්නේ නැහැ. ජනාධිපතිවරණය කිට්ටු දවසක තමයි අපි මේ ගෙදරට ගොඩවුණේ. අපි ඒ ගෙදර ඉදිද්දී රෑපවාහිනී නාලිකාවක නිමල් සිරිපාල ද සිල්වා මහතාව පෙන්නුවා. ඒ පාර මේ තැනැත්තා අපිට කියනවා ඔය ඉන්න මහත්තයානේ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ කියලා. ඒතමයි ඒ මනුස්සයාගේ අවබෝධය. අපේ එක්කෙනෙක් ඇහුවා. අංකල් කාටද ඡන්දෙ දෙන්නේ කියලා. ඉස්සරනම් මහත්තයෝ අලියට දුන්නා. ඒත් දැන් කාට දෙන්නද කියලා දන්නෙ නැහැ. පුතා ඇවිත් ඡන්ද මධයස්ථානෙට එක්කගෙන යනවා. කොලේක මොකක් හරි ඇදල දුන්නම මම ගිහින් එතන මහත්තයෙකුට ඒක පෙන්නලා ඡන්දෙ දාන්න කියනවා. ගියපාරත් දුන්නේ ඒ විදියට මම දීපු කෙනා දිනුවද දන්නෙත් නැහැ.
ඔන්න ඕක තමයි අපේ මිනිස්සුන්ගේ තත්ත්වය. තවත් ටිකක් හෙට.............