Wednesday, August 12, 2009

දෙවැනි බුදුන් අමතක කර වැනසීම


අපි හැමෝම අපේ රටට දෙවැනි බුදුන් හැටියට සලකන්නේ මිහිදු හිමියන්. මිහිදු හිමියන් වැඩ වාසය කරපු තැන් අදත් අපේ අය වන්දනාමාන කරන්නේ මහත් භක්තියකින්. ඒ අතරින් මිහින්තලය පූජා භූමිය ප්‍රධාන වෙනවා. මිහින්තලේ මිහිදු ගුහාව කියන්නේ මිහිදු හිමියන් මෙරටට වැඩම කරලා වැඩ වාසය කරපු ගල්ලෙනක්. එය ඉතාමත්ම කුඩා ස්ථායනයක් වුනත් අපූරු සුන්දර තැනක්. එතැන ගලේම ‍සකස් කරපු සයනයක් තිබෙනවා. එය අවුරැදු දහස් ගණනක් පැවැතියා. නමුත් පසුගිය දිනක එතැනට ගියපු නිදන් හොරු මේ ගල් සයනයේ වටේට තිබුණු ගෝලාකාර කැටයම බිද දමලා නිදන් සොයලා. මේක දැනගත්තාම විශාල දුකක් ඇතිවුනා.
මේ ඡායාරෑපයේ තියෙන්නේ ඒ විනාශ කරපු ගල් සයනයේ අදාල ගෝලාකාර කැටයම් හතරෙන් එකක්. මේක ගත්තේ පසුගිය ඇසළ පුන් පොහෝ දිනයේදී.

Tuesday, August 11, 2009

අපේ භූමියේ නියම උරැමක්කාර‍යෝ (වැද්දෝ)




විදෙස් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරු කණ්ඩායමක් වරක් මෙරටට පැමිණ විශේෂ පරීක්ෂණයක් කළා. ඒ මෙරටින් හමුවන ප්‍රාග් ඓතිහාසික මානවයා සහ නූතන සිංහල ජනතාව අතර පරිනාමික බන්ධුතාව සොයා ගැනීම. ඒ වගේම ඔවුන් දෙමළ ජනතාවත්, මුසිල්ම් ජනතාවත් මේ පැරණි මානවයාට සමානදැයි සොයා බැලුවා. අවසාන ප්‍රතිඵලය වුනේ අපි කිසිවකුත් මෙරට සිටි ප්‍රාග් ඓතිහාසික මානවයා සමග පරිනාමිකව සම්බන්ධ නැති බව අනාවරණය වීමයි. නමුත් වර්තමාන වැදි ජනතාව අතීත මානවයා සමග විශාල නෑදෑකමක් තිබෙන බව තහවුරු වුනා. එහෙනම් අද නොදියුණු එහෙමත් නැත්නම් ගෝත්‍රික කියල හදුන්වන මේ ජනකොටස අපේ ශ්‍රී ලංකාවේ නියම උරුමක්කරුවන්.
‍මම මේක සිහිපත් කළේ පසුගිය 09 වැනිදා ලෝක ආදිවාසී දිනය යෙදී තිබුණු නිසා. නමුත් රජයවත් වෙනත් වගකිවයුතු අයකුවත් එදා මොවුන් ගැන අවධානය යොමු කළේ නැහැ. අද වැදි ජනතාවට තමන්ගේ පාරම්පරික දඩබිම් අහිමිවෙලා. දුනු හී තළ වෙනුවට උදැල්ල පුරුදු කරපු වැද්දෝ දැන් නූතන සමාජයේ නන්නත්තාර වෙලා. වැදි ජනතාව බලන්නට එන දහස් ගණනක් සංචාරකයන් නිසාත් ඔවුන්ගේ සාමාන්‍ය දිවි පෙවතට බාධා එල්ල වෙලා. වෙනද නටපු කිරි කොරහ අද වන විට ප්‍රසංග වේදිකාවට ගෙනියන්න වැද්දෝ කටයුතු කරලා. ඒක සංස්කෘතිකයම වශයේ ගැටලුවක් ද කියලා මම දන්නේ නැහැ.
ඒත් අපි දැකපු දෙයක් ගැන සටහන් නොකර බැහැ. වැදි ගම්මානයට ගියහම දකින්න තිබෙනවා. වැදි කාන්තාවන් විවිධ නිශ්පාදන කරන ආකාරය. ඔවුන් මල් බදුන් සකස් කරනවා. මී පැණි විකුණනවා. දුනු හී තල පවා විකුණන්න තිබෙනවා. මේ සදහා යම් අතහිත දීමක් සිදුවුවහොත් වැදි ජනතාවට යම් කිසි ආකාරයකින් තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න හැකිවේවි කියලානම් හිතෙනවා.
ඒත් වැදි ගම්මානයක කරපු සංචාරයේදී අහන්න ලැබුණු දෙයක් තමයි. අක්ෂර මාලාවක් නැති ඉතා සරල ඒ වගේම ඔවුන්ටම පමණක් ආවේණික භාෂාව වැදි දරුවන්ට පාසලේදී ඉගෙන ගන්න නොලැබෙන බව. ඒ නිසාම හැමදාමත් වැද්දන්යැයි හංවඩු ගැසෙන මේ දරුවෝ ටික දිනකින් පාසල් ජීවිතයට ආයුබෝවන් කියනවා.
මම කියන්නේ නැහැ වැද්දෝ හැමදාමත් වැද්දෝ විදියට ඉන්න ඕන කියලා. ඒත් වැද්දන් සතුව තියෙන පාරම්පරික දැනුම. ගතිසිරිත් සංස්කෘතික ලක්ෂණයන් සියල්ල අනාගත පරපුර වෙනුවෙන් හෝ ඉතිරි කරගන්න අපේ පාලකයෝ කටයුතු කළ යුතුයි. මේ සදහා විධිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. එහෙම වුනොත් අපේ රටේ පාරම්පරික උරැම කරැවන්ගේ උරුමය ආරක්ෂා වේවි. නැත්නම් ඒ ටික දෙනක් අපිත් එක්කම විනාශ වෙලා යාවි.