Friday, January 16, 2009

අවසන් නිමේශය



ගාල්ල කළුවැල්ල පන්සල පිහිටා තිබෙන්නේ නගරය මධ්‍යයේ.
මේ හරිය ඉතාමත්ම ජනාකීර්ණයි.
එක පැත්තකින් තියෙන්නේ මහ මුහුද
දවසක් මහ දවාලේ පන්සලට අමුත්තෙක් ඇතුළු වුනා. ඒ ඉදිරි දොරටුවෙන් නෙවෙයි.
පිටිපස්සේ දොරටුවෙන්.
මෙයා කෙලින්ම ගියේ නායක හාමුදුරැවෝ පෙනෙන තැනකට.
හැබැයි හාමුදුරැවොත් එක්ක කථා කලේ නැහැ.
උන්වහන්සේට පේන්න බිම දිගා වුනා.
නැගිටින්න බැහැ.
කවදාවත් පන්සලට ආවෙ නැති අළුත් අමුත්තා ගාවට හාමුදුරැවෝ ගියා.
එතකොට මෙයා ලේ පෙරාගෙන ඉන්නවා.
කව්දෝ හොදටම ගහලා.
බෙල්ල කැපිලත් තිබුණා.
ඒ නිකන් ගෝරියකට පැටළිලා නෙවෙයි.
එයාගේ මස් අනුභව කරන්න.
මේ අමුත්තා ඉත්තෑවෙක්. පොඩි එකෙක් නෙවෙයි.
හොදට වැඩුණු නිරෝගී ඉත්තෑවෙක්.
මස් වල රහ වැටුණු මිනිස්සු මරන්න එළවද්දි මේ ඉත්තෑව රිංග ගත්තේ ලගම තිබුණු පන්සලට.
හාමුදුරැවෝ මෙයාට හොදට සාත්තු කළා.
ඒත් එයාගේ ජීවිතය බේරගන්න බැරි වුනා.
විනාඩි කිහිපයක් හුස්ම අල්ලගෙන හිටපු ඒ අහිංසක අසරණ සතා මිය ගියා.

Thursday, January 15, 2009

මේක ඉතා වැදගත් තැනක්.............



කාටද කියන්න පුළුවන් මේ කොහේද කියලා...................
මේ ඡායාරෑප දෙක අදින් වසර 40 කට පමණ පෙර අවස්ථාවන් දෙකකදී ගත්තු ඒවා.

Tuesday, January 13, 2009

කැබැල්ලෑවා.......




මේ පුංචි කැබැල්ලෑ පැටියා හමුවෙලා තිබුණේ කැලෑවේ ඇවිදින්න ගියපු තරැණයන් පිරිසකට. ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේ මොකෙක්ද කියලා. ඔවුන් කිසිම දිනයක කැබැල්ලෑවෙක් දැකල තිබුණේ නැහැ. මේ අමුතු සතාව ඔවුන් ගෙදර ගෙනාවා. ගෙදර හිටපු සීයා තමයි කීවේ මේ ඉන්නේ කැබැල්ලෑ පැටියෙක් කියලා. ඒකා සුදුම සුදුයි. ලොකු වෙනකොට දුඹුරැ පාට වුනත් තවමත් පොඩි එකානේ........... .
කැබැල්ලෑවෙක් නිවසක හදන්න බැහැ. ඒක නීති විරෝධී කටයුත්තක්. මේ තරැණයන් ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයට කැබැල්ලෑ පැටියව භාර දුන්නා. දැන් කැබැල්ලෑවා කිරි බොමින් වැඩෙනවා.
කැබැල්ලෑවා සත්ත්ව විද්‍යාත්මකව හදුන්වන්නේ මානිස් ක්‍රැසිකෝඩාටා ලෙසිනි. මේ අහිංසක සත්ත්වයා මේ වනවිට වදවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති සත්ත්වයෙකුද වනවා. ඒ වගේම කැබැල්ලෑවා විශේෂ සතකු වන්නේ සිරැරේ රෝම නොමැති එකම ක්ෂීරපායී (කිරි බී වැඩෙන) සත්ත්වයාද වන නිසා.
මස් සදහා කැබැල්ලෑවා මරා දැමීම සහ වනාන්තර විනාශය නිසා ඔවුන් ඉතා නුදුරැ අනාගතයේදී ලංකාවෙන් වදවී යාමට ඉඩ තිබෙනවා.

Friday, January 9, 2009

ආසියාවේ පැරණිම නැව ශ්‍රී ලංකාවෙන්....................








මීට අවුරැදු ගණනාවකට පෙර ගොඩවාය ප්‍රදේශයේ බෙල්ලන් එකතුකිරීමට කිමිදෙන දෙදෙනෙකුට මුහුදේදී අපූරැ වස්තුවක් ලැබුණා. ඒක ගල්බංකුවක්. මේකේ සළකුණක් තිබුණා. ඒකට කියන්නේ නන්දිපාද සළකුණ කියලා. මේ සළකුණ භාවිතා කළේ ක්‍රි.පූ. 300 ත් ක්‍රි.ව. 300 ත් අතර කාලයේදී.
පසුගිය දවස්වල සමුද්‍ර පුරාවිද්‍යාඥයන් කණ්ඩායමක් මේ ගල් බංකුව ලැබුණු ස්ථානයේ මුහුද ගවේෂණය කළා. පුදුමයක්. ගිලී ගිය නැවක නටඹුන් එම ස්ථානයේ දක්නට ලැබුණා. මේ නැ‍වේ නෂ්ඨාවශේෂ අතර කළු රතු මැටි බදුන් ලෙස හදුන්වන එක පැත්තක් රතු අනෙක් පැත්ත කළු පැහැති මැටි බදුන් ගොඩක් දක්නට ලැබුණා. ඒ වගේම අතීතයේ මැටි බදුන් ඔබදමන්න භාවිතා කළ ද්‍රව්‍ය රැසකුත් එම ස්ථානයේ තිබුණා.
ඒ වගේම දැඩි ලෙස දිරාගිය ලී නැවක අවශේෂ එම ස්ථානයේ තිබෙන බව පුරාවිද්‍යාඥයන් තේරැම් ගත්තා. අතීතයේ භික්ෂූන් වහන්සේලා අසුන් ගැනීමට භාවිතා කළ දෙයක් තමයි අර ගල් බංකුව. ‍ගොඩවාය පැරණි වරාය පිහිටි ස්ථානයේ සිට කිලෝ මීටර හතරක් ඈත මුහුදේ අඩි 110 ක් ගැඹුරෙන් හමුවූ මේ ගල් බංකුව, එතැන තිබූ මැටි බදුන් නිෂ්පාදනය කළ ආකාරය හා එහි ඇති අවශේෂ අනුව පුරාවිද්‍යාඥයන් නිගමනය කළේ ක්‍රිස්තු පූර්ව 300 දී පමණ ගිලී ගිය නැවක නටඹුන් තමන්ට හමුවී ඇති බවයි.
එසේනම් මේ හමුවී තිබෙන්නේ මෙතක් ලොව හමුවූ පැරණිතම නැව නොවුනත් එය අනිවාර්යයෙන්ම ආසියානු කලාපයේ දී හමුවූ ‍පැරණිතම නැව බවටනම් විවාදයක් නැහැ.
අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම ඓතිහාසික වටිනාකම ඒ අනුව සිය දහස් ගුණයකින් ඉහළ ගියා.

ලොව පැරණිම වී......... ශ්‍රී ලංකාවෙන්




තිස්සමහාරාමයේ කැණීම් වලින් අපූරැ වස්තුවක් හමුවුණා.
පියනකින් වසා තිබූ මුට්ටයක්.
හුගක් දෙනෙක් හිතුවේ මෙහි කාසි ඇති කියලා.
ප්‍රවේශමෙන් උඩට අරගෙන පියන ඇරලා බලන කොට ඒක ඇතුලේ වී පුරවලා.
මේ මුට්ටිය හමුවුනේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට අයත්යැයි කාල නිර්ණය කරපු පස්තට්ටුවකින්.
සමහර විටක පසුකාලයකදී මෙය වළලන්නට ඇති.
නමුත් මේ මුට්ටියේ තියෙන සංකේත කිහිපයක් හා මුට්ටිය සෑදූ තාක්ෂණය අනුව එය අයත් වන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසට
එහෙමනම් මේ වී තොගය අදින් අවුරැදු 2300 ක් පැරණියි.
මුට්ටියට කිසිදු හානියක් සිදුවී නොමැති නිසා වී තොගය ඉතා පිරිසිදුව තිබුණා.
නමුත් වී බොල් වෙලා.
දැන් මේ සියල්ල තිබෙන්නේ ජර්මනියේ.
වැඩිදුර පරයේෂණ සදහා රැගෙන ගිහින්.
තවත් වසරකින් පමණ අපට නිවැරදි තොරතුරැ ලැබේවි.
කොහොම වුනත් මේ වී ටික ලෝකයේ පැරණිම ධාන්‍ය තොගය විය හැකියි.
මෙය වැදගත් වන්නේ අපේ අතීත මුතුන් මිත්තන්ගේ ආහාර රටාව අධ්‍යයනය කරන්න තියෙන හොදම සාක්ෂියක් නිසා

නොදන්නා කම

වෛද්‍යවරැන් කරන දේ මට නොතේරේ. ඔවුන්ට ඇති ගැටළුද මට කිසිදා තේරැම්ගත නොහැක ඒ මම වෛද්‍යවරයකු නොවන නිසාවෙනි.
මිනින්දෝරැවන් කරන කියන දේ පමණක් නොව ඔවුන්ගේ ගැටළුද මට නොතේරේ ඒ මම මිනින්දෝරැවකු නොවන බවැනි.
බස් රියදුරෝ, බස් හිමියෝ හැමදාමත් කරන අරගල මම තේරැම්ගන්නේ නැත. ඒ මම එවැන්නෙකු නොවන බැවිනි.
ගුරැවරැන්ට ඇති ගැටළුද මම නොදනී. මම කිසිදා උගන්වා නැති බැවිනි.
මාධ්‍යවේදීන් වශයෙන් අපට, මට ඇති ගැටළු මෙන්ම අප කරන කියන දෑ ඔබ කිසිවෙකුත් කිසිවක් නොදනී. තේරැම් ගැනීමට ද නොහැක. ඒ ඔබ මාධ්‍යවේදියකු නොවන බැවිනි.
ඔබ දන්නේ මාධ්‍යවේදීන් ගැන, මාධ්‍යය ගැන අන් කවරකු හෝ කියන කථාවක් පමණි.

Thursday, January 8, 2009

මාධ්‍ය නිදහස

මම හිතාගෙන හිටියේ මේ මාධ්‍ය නිදහස ගැන කථාව ඊයේ රාත්‍රියෙන් නවතා දමන්න. ඒත් අද උදේ වරැවේ ලසන්ත විකමතුංගට වෙඩි තියලා. ඔහු කළුබෝවිල රෝහලේදී මියගියා. මේ වෙලාවේ අපිට මතක්වෙන්නේ රිචඩ් ද සොයිසා වගේ මාධ්‍ය වේදීන් ඝාතනය කරපු හැටි. දැන් තත්ත්වය ඊටත් වඩා එහා ගිහින් වගේ..........
සිරසට ගහපු වෙලාවේ මාධ්‍ය නිදහස නැති වෙනවා. නැති කරන්න හදනවා කියලා අපි කියද්දී ඒකට විරැද්ධ වුනු සහෝදරයොත් හිටියා. සමහරැ කිව්වා සිරස යූ.එන්.පී. එකත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණයක් කරලාය කියලා. දැන් ඉතින් එයාලා මොකද කියන්නේ............. ලසන්ත වික්‍රමතුංග තමන්ටම වෙඩි තියාගන්න ඇති නේද ?

අද ලංකාදීප පත්‍තරේ ගුරැදා විග්‍රහය අවසන් කරලා තිබුණේ මෙන්න මේ විදියට
මොලර් නම් ජර්මානු ජාතික කවියා ලියපු මේ පද පේලියෙන්.............
ඔවුන් පැමිණ ක්‍රිස්තියානුවන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මා ක්‍රිස්තියා‍නුවෙකු නොවන නිසා
ඔවුන් පැමිණ අසල්වැසියන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
ඔවුන් මාගේ නිවසට නොපැමිණි නිසා
ඔවුන් පැමිණ යුදෙව්වන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මම යුදෙව්වෙකු නොවන නිසා.
ඔවුන් පැමිණ ප්‍රජාතන්ත්‍රවාදීන් ඝාතනය කරන විට මම කතා නොකළෙමි.
මා දේශපාලනය නොකරන නිසා.
ඔවුන් පැමිණ මගේ නිවසට තට්ටු කරන විට මා වෙනුවෙන් කතා කරන්න කිසි‍වෙකු නොවුණි.
ඔවුන් සියලු දෙනා ඝාතනය කොට අවසන් නිසා