Friday, January 27, 2017

කප්පම් ගත් තම වාර්තාකරු තමාගේ නොවේ යැයි කියා ඇඟ බේරා ගැනීමේ අපූරු මාධ්‍ය සංදර්ශනය - හෙට දිනයේ හිරු පායන්නාක් මෙන් විශ්වාසයි

////////මාධ්‍යය ගැන දැනගන්න කැමතිනම්, එය ගැන විශ්වාස කරනවානම්. මාධ්‍යයට ගරහනවානම් නැතිනම් මාධ්‍යය විවේචනය කරනවානම් මොනවා කළත් කමක් නෑ. අවසානය දක්වා කියවන්න. ////////
මෙය දෛනිකව තබන මාධ්‍ය ගැන සටහනක් කර ගැනීමට අපේක්ෂිතය. එය ඇතැම් අයගේ හදවත කීරි ගැසීමටත් තවත් පිරිසක් උද්යෝගමත් කිරීමටත් හේතුවනු ඇත. මා මගේම සමකාලීන මාධ්‍ය සහෘදයන් පිරිසක් අතර ගැරහීමටත්, විවේචනයටත් ලක්වන්නක් බව ද මම දනිමි. එමෙන් ම මගේ මරණයටවත් යන්නේ නැතැයි කියමින් ඇතැම් සඟයන් මට බැණ වදිනු ඇත. ඉතා සුළු මාධ්‍ය සඟයන් පිරිසක් අතර පමණක් මා වීරයකු වනු ඇත. නමුත් මෙය මා විසින් කළ යුතුම කාරියක් ලෙස සළකමි. එබැවින් මෙතැනින් යළි පටන් ගනිමි. මෙය කිසිදු බලපෑමක් හේතුවෙන් නවත්වන්නට ආරම්භ කරන්නක් නොවන බව ද සිහිපත් කළ යුතුය.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

පසුගිය සතියේ දිනක මාතර මාධ්‍ය සඟයකුගෙන් අැමතුමක් ලැබුණා. ඉන් කියවුණේ ගාල්ලේ අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස සිටි මිත්‍රයෙක් කාන්තාවකගෙන් කප්පම් ගැනීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව. පසුව ඔහු රිමාන්ඩ් කළ බව ද දැනගන්නට ලැබුණා. එය කෙනෙකුට පුවතක් පමණක් වුව ද මට එය විවේචනාත්මක විග්‍රහයකට හොඳ වස්තු බීජයකි.
මා ඔහු ගැන යමක් කිව යුතුයි. මේ තැනැත්තා මාධ්‍යයට ආවේ කවර සුදුසකමක් නිසා දැයි මා දන්නේ නැහැ. නමුත් ඔහුට වීඩියෝ කළ හැකි කැමරාවක් තිබුණා. එයින් කවර හෝ ආකාරයේ රූපරාමු ගන්නා බව ද පෙනුනා. මේ තැනැත්තා මුලින් ම ගාල්ලේ හිරු මාධ්‍යවේදියා ලෙස කටයුතු කළා. මගේ කාර්යාලයෙන් ද ඔශු හිරු ආයතනයට පුවත් සැපයුවා. පසුව ඔහු ස්වර්ණවාහිනිය හා දෙරණ සමගත් එක්වූ බව මට මතකයි. ඉතා කෙටි කාලයක් ලංකාදීප වෙබ් අඩවියට පුවත් සැපයුවා.
ටික කාලයකින් කාටවත් ගන්නට බැරි විෂුවල් ඔහු එවනවා යැයි කියා ඔහු සේවය කළ මාධ්‍ය ආයතන ඔහුට වැඩි වගකීම් පැවරීමත් සමග ඔහු ගාල්ලේ පොරක් වෙද්දී ඒ තැනැත්තාගේ හැසිරීම් බොහෝ දෙනෙකුට දිරෙව්වේ නැහැ.
කාලය ක්‍රමයෙන් ගෙවී යද්දී දිනක් අපේ ම ගාල්ලේ මාධ්‍ය සඟයකුගේ කැමරාවක් නැතිවුණා. මේ නැතිවූ කැමරාව හමුවුණේ අපේ කතානායකයා ගේ සන්තකයේ තිබී. නමුත් කැමරාවේ සැබෑ හිමිකරුවා තම මාධ්‍ය මිත්‍රයා හොරකු වුවත් ඔහුට සමාව දුන්නා. අපි මාධ්‍ය ආයතනවලට දැනුම් දුන්නා මේ පුද්ගලයාගේ කෙරුවාව. දින කිහිපයක් ඔහුගේ සේවාව නවතා දැමූ මාධ්‍ය ආයතන නැවතත් ඔහු සේවයේ පිහිටවූයේ නිල්ලජ්ජිතව. මේ මාධ්‍ය ආයතනවලට අවශ්‍ය වූයේ ඔහුගෙන් ලැබෙන කිසිදු විචාරයක් නැති, සදාචාරය උල්ලංඝනය කරන විෂුවල් පමණයි.
හිරු පුවත් සේවයේ CIA වැඩසටහනේ වාර්තාකරු ලෙස බද්දේගම ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීමක් වීඩියෝ කළ මේ පුද්ගලයා ඒ වාර්තාව විකාශය නොකිරීමට රුපියල් 25,000ක කප්පමක් ඉල්ලා තිබුණා.
කරාපිටිය රෝහලේ රථ ගාලේ වැඩිපුර මුදල් අයකරන පුවත හිරු CIA මගින් විකාශය නොකිරීමට රුපියල් 5000ක් කප්පම් ඉල්ලා තිබුණා. අපි මේ ගැන අදාල මාධ්‍ය ආයතන සියල්ල දැනුම්වත් කරත් ඔවුන් ඔහු විශ්වාස කළා අප සැකකළා. අපි ඉරිසියාවට චෝදනා කරනවා කීවා.
මාස කිහිපයක් ගත වුණා. ගාල්ලේ පදිංචි දුප්පත් රෝගී දරුවකු සුව කිරීමට දෙමාපියන් විදින වේදනාව සම්බන්ධයෙන් මේ පුද්ගලයා මාධ්‍ය ආයතන දැනුම් දීමකට අනුව ප්‍රවෘත්තියක් සකසා යවා තිබුණා. මේ පුවත දුටු එක්තරා සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එම පවුලට ලොකු පරිත්‍යාගයක් කළා මාසිකව මුදල් දෙන්නත් පොරොන්දු වුණා.
ඒ නිවසට ගිය මේ වාර්තාකරුවා මේ අහිංසක දෙමාපියන්ගෙන් රුපියල් 50,000 ක කප්පමක් ගත්තා. පසුව යළි පැමිණ සෑම මාසයක ම තමන්ට රුපියල් 10,000 බැගින් අවශ්‍යයැයි තර්ජනය කළා. මේ ගැන දැනගත් මාධ්‍ය ආයතන ඔහුගේ සේවය ලබා ගැනීම නවතා දැම්මා. ස්වර්ණවාහිනිය ඔහුගේ මයික් ලෝගෝවත්, හැඳනුම්පතත් යළි ලබා ගත්තේ නිවසට නිලධාරියකු යවමින්.
නමුත් මේ තැනැත්තා තවත් දින කිහිපයකට පසු මාතර හක්මන ප්‍රදේශයෙන් යළි සිය සුපුරුදු ප්‍රාදේශීය මාධ්‍ය වෘත්තියට පිවිසුණේ කවුරුත් පුදුම කරමින්. දෙරණ ආයතනය ඔහුගේ සේවය ලබාගත්තා. හිරු ආයතනයත් තම වාර්තාකරු (ගාල්ල හිරු රිපෝටර්) සතු හැඳුනුම්පත් හෝ ආයතනික මයික් ලෝගෝව ලබාගත්තේ නැහැ. අප දන්නා තරමින් ඔහු හක්මන සිට අදාල මාධ්‍ය ආයතන කිහිපයකට පුවත් සපයා තිබෙනවා.
අවසානයේ හක්මන දී තම සුපුරුදු කප්පම් මාෆියාවට යළි පණ පොවන මොහු කරන්නේ විවාහ ලේකම්වරියක අයථා මුදල් ගනුදෙනුවක යෙදීමක් තමන් වීඩියෝ කර ඇති බවත් එය හිරු CIA වෙත නොදීමට නම් රුපියල් 50,000 ක කප්පමක් ඉල්ලා සිටීම. ඔහුට රුපියල් 10,000ක් දුන් ඇය ඒ බව හිරු නාලිකාවට දැනුම් දීමෙන් මේ වාර්තාකරුගේ කප්පම් සෙල්ලම පොලිසිය දක්වා ගමන් කරනවා.
නමුත් මාධ්‍ය සංදර්ශනය ඇරඹෙන්නේ ඉන් පසුව
වසර ගණනාවක් ගාල්ලේ හිරු ප්‍රාදේශීය වාර්තාකරු ලෙස මේ කප්පම් කරුවා කටයුතු කළා.
හිරු CIA වෙත ඔහු නිබඳව නිවුස් සැපයුවා.
ඔහුට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය හැඳුනුම්පතක් ද නිකුත් කර තිබෙනවා.
මේ හැඳුනුම්පත සඳහා ඔහුගේ නම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇත්තේ ද හිරු ආයතනය විසින්
අප අවස්ථා කිහිපයක දී ම ඔහු කප්පම් කරුවෙක් හා වංචා කරුවෙක් බව හිරු ආයතනයට කීව ද ඒ ගැන නොසළකා හරිමින් ඔහුගෙන් ප්‍රවෘත්ති ලබා ගත්තා.
හදිසියේම මේ සියල්ල අමතක කරන හිරු නාලිකාව හිරු CIA වැඩසටහනෙන් යළි මෙරට මහජනතාව ගොනාට අන්දනවා.
ඒ හිරු නාලිකාවේ වාර්තාකරුවකු යැයි පෙනී සිටින තැනැත්තකු ව්‍යාජ හැඳනුම්පත් ද සකස් කර හිරු CIA වෙනුවෙන් යැයි කියමින් විවාහ ලේකම් වරියකගෙන් කප්පම් ගත් බව පවසමින්.
ඇත්තටම ඔහු හිරු නාලිකාවේ වාර්තාකරුවකු නොවේ ද ?
 හිරු මේ සිදුකළේ කුමක් ද ?
තමන්ගේ ප්‍රාදේශීය වාර්තාකරුවා කප්පම් ගත් විට ඒබව දැන දැනත් ඔහුගේ සේවය දිගින් දිගටම ලබාගෙන ඔහුට යළි යළිත් අවස්ථාව දී පසුව ගැලවීමක් නැතිම තැන දී ඔහු තම නාලිකාවේ නම විකුණූ ව්‍යාජ පුද්ගලයකු බව පවසා ප්‍රශ්නයෙන් ඇඟ බේරාගැනීම නොවේ ද ?
මෙය ජනතාව ගොනාට ඇන්දවීමකි.
පොදු දේපල වූ සංඛ්‍යාත පරාසයන් භාවිතා කරමින් මාද්‍ය සංදර්ශන කිරීමකි.
සැකයක් ඇත. මේ වාර්තාකරු ලබාගත් කප්පම් ගත්තේ ඔහුටම ද නැතිනම් ආයතනික නිලධාරීන්ගේ වුවමනාවට ඔවුන්ගේ ද දැනුම්වත් බව ඇතිව ද ?
මේ ගැන අප සොයා බැලිය යුතුය. 





No comments:

Post a Comment

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.