Friday, January 22, 2010

මට හමුවූ අරුම පුදුම ගැහැණිය

මේ කාන්තාව මට හමුවූයේ 21 වැනිදා සවස හබරාදුවේ පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දැක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. බලපිටිය ප්‍රදේශයෙන් පැමිණි ඇය තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාය. ඇයගේ වචන වලින්ම මම එය මෙසේ සටහන් කරමි.
ජේ.වී.පී. එකේ දැන් ඉන්න අය පක්ෂයේ ප්‍රතිපත්ති පාවා දුන්නා. 89 භීෂණ කාලේ යූ.එන්.පී. එක මගේ මල්ලිව මැරැවා මාව සිරගත කලා. මම අවුරැදු දෙකක් හිරගෙදර ඉදලා ආවේ. මේ සෝමවංශලා දැන් යූ.එන්.පී . එකත් එක්ක එකතුවුනේ තමන්ගේ වාසියට අපේ මුළු සටනම පාවා දුන්නා. විජේවීර සහෝදරයා කියපු කරපු දේ කිසිවක් මේ අය තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. ඒ නිසා මම පක්ෂයෙන් ඉවත් වුනා. මම තීරණය කළා පක්ෂයෙන් ඉවත් වී ජනාධිපතිතුමාට සහය දක්වන්න. මේ කුමන්ත්‍රණ කාරයෝ මගේ ඡන්ද අයිතියත් නැති කරලා. අඩුම ගණනේ පක්ෂය වෙනුවෙන් තම සොහෝදරයාගේ ජීවිතය අහිමිකරගත්තු අවුරැදු දෙකක් හිරබත් කාපු මට ඡන්ද අයිතියත් නැති කරලා. මට මෙවර ඡන්දය දාන්න හැකියාවක් නැහැ. මගේ නම ඡන්ද හිමි නාමලේඛණයෙන් කපා හැරලා. ඇය මේ සියල්ල කීවේ හඩා වැළපෙමිණි.
ඇයගේ එම කථාව අවසන් වූ පසු මම පහත සදහන් ප්‍රශ්න කිහිපය ඇගෙන් ඇසුවෙමි.

ප්‍රශ්නය . ඔබ හිරෙන් නිදහස් වූ බව කීවා. පක්ෂයට කැපවූ බව කීවා ඔබ පක්ෂයෙන් ඉවත්වීමට පෙර එහි නායකත්වය සමග මේ ගැන සාකච්ඡා කළේ නැද්ද ?

පිළිතුර . මම 91 නිදහස ලබා ආ පසු පක්ෂයේ ක්‍රියාකාරීත්වයෙන් ඈත් වෙලා සිටියේ. පසුව පක්ෂයේ නායකත්වය සමග සම්බන්ධතාක් තිබුණෙ නැහැ.

ප්‍රශ්නය . ඔබගේ වෘත්තිය කුමක්ද ?

පිළිතුර . මම පෙරපාසල් ගුරැවරියක්. 2000 වර්ෂයේ විදෙස් ගතවුනා. නැවත ආවේ අවුරැදු 06 ට පසුවයි.

ප්‍රශ්නය . ඔබ නැවත පැමිණි පසු පක්ෂය සමග සම්බන්ධතාවක් තිබුණේ නැද්ද ?

පිළිතුර . ටිකක් අඩු සම්බන්ධයක් තමයි තිබුණේ.

ප්‍රශ්නය . ඒ කියන්නේ ඔබ පක්ෂයේ ක්‍රියාකාරිකයකු නොවෙයි. අද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකාවක් ලෙස පෙනී සිටිමින් ජනාධිපතිතුමාට සහය දක්වන බව කීවත් ඔබ 91 න් පසු පක්ෂයේ ක්‍රියාකාරිකයකු වී නැහැ.

පිළිතුර . මම පක්ෂයේ ක්‍රියාකාරී නොවුනත් පක්ෂය සමග දිගටම සිටියා.

ප්‍රශ්නය . යමකු හිතාමතාම ඔබගේ ඡන්ද අයිතිය අහිමිකැර ඇත්නම් ඒ ගැන අපටත් ‍සොයා බැලිය හැකියි. නමුත් ඔබේ චෝදනාව සාධාරණ විය යුතුයි.

පිළිතුර . ඔව් සාධාරණයි. මට ඡන්ද අයිතිනය නැති කළා.

ප්‍රශ්නය . මම ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමාසාරිස් වරයාගෙන් මේ ගැන විමසනවා. ඔබට ස්ථිර ද ඔබ මේ චෝදනාව කළත් ඔබට ඡන්දය අහිමිවී ඇත්තේ ඔබ විදේශගත වීම නිසා ඔබේ නිවැසියන් ඡන්ද හිමි නාමලේඛණයේ ඔභ විදෙස් ගතවී සිටින බව සටහන් කළ නිසා නොවන බව.

පිළිතුර . සමහර විට ඒ අය එලෙස සටහන් කරන්න ඇති කියා.

ප්‍රශ්නය . එසේනම් ඔබ කරන ලද චෝදනාව අසත්‍යයක්

පිළිතුර . ඔයාලා අපි කියන දේවල් ඔක්කොම දානවාද ?

මම . ඔබ යම් චෝදනාවක් කරනවානම් මාධ්‍යමගින් එය ප්‍රචාරය කරන්නේ එය සත්‍යනම් පමණයි.
මම කැමතියි ඔබේ සිරගත ජීවිතය ගැන ලංකාදීප දියතට ලිපිපෙලක් ලියන්න. ඔබ කැමතිනම් මට ඒ අවස්ථාව දෙන්න පුළුවන් ද ?

පිළිතුර . මම මහත්තයාගෙන් අහලා කියන්නම්.

සාකච්ඡාව එතැකින් අවසන් කැරැණි. මම නැවත නිවෙස බලා එද්දී ඇය උණවටුනේ පැවැති ජනාධිපතිවරයාගේ රැස්වීමක වේදිකාවේ සිටියාය. එහිදී ඇය පෙනී සිටියේ බලපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවටත් ඉන්පසුව පළාත් සභාවටත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරියක ලෙසිනි. ඇය කියන්නේ මුසාවකි. නමුත් ඇයට ඒ සම්බන්ධයෙන් කිසිදු හිරිකිතයක් නැත.
මෙවැනි පුද්ගලයන් යොදාගෙන රගපෑම් සිදුකරමින් ඡන්දය ජයගන්නට තරම් අපේ ජනාධිපතිතුමා බංකොලොත්වී ඇතැයි ජනතාවට ඒත්තු ගියහොත් සිදුවන්නේ එතුමාට බරපතල හානියකි.

Thursday, January 14, 2010

දූෂණ අනාවරණය කළාට කටඋත්තර දීමට සිදුවීම

ඊයේ සවස කව්දෝ පුද්ගලයන් දෙදෙනෙක් අපේ ගෙදර ඇවිල්ලා මගේ නම කියලා කථා කළා. ‍මම එළියට ගියා විතරයි මෙන්න බොලේ මෙයාලා කියනවා අපි සී.අයි.ඩී. එකෙන්ලු. මට ඒ අය නුහුරැ නුපුරැදු අයත් නෙවෙයි. මොකද එයාලා මම යන එන තැන් කථා කරන දේවල් කියන කරන සියළුම දේ ගැන හොද සෝදිසියකින් ඉන්න බවත් මම දන්න නිසා. ඒ විතරක් නෙවෙයි දැන් සී.අයි.ඩී එකේ ගොඩක් අයව අප අදුනනවා. ඒ ඉතින් අපේ රස්සාවෙ හැටි තමයි.
මෙයාලා මට කොලයක් පෙන්නලා අහනවා මේ කොලේ සිරස ටී.වී. එකට යැව්වේ ඔයාද කියලා. මම ගත් කටටම කිව්වා ඔව් කියලා. මගෙන් කට උත්තරයක් ගන්න ඕනෑලු.
පසුගිය 12 වැනිදා රාත්‍රී 7.00 ට සිරස පුවත් විකාශනයේදී පොලිස්පති තුමාගෙන් මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළා ඔබ සියළු දෙනාම දකින්න ඇති. ඒ ඇහුවේ ගාල්ලේ පොලිස් අධිකාරී කාර්යාලයෙන් සියළුම පොලිස් ස්ථානාධිපතිවරැන්ට යවා තිබුණු පැක්ස් පණිවිඩයක් ගැන. ඒ පණිවිඩයෙන් කියා තිබුණේ කළගුණ සැළකීම සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න කියලා.
මේ ලිපිය මම දැක්කේ උඩුගම පැවැති ජනරාල් සරත් පොන්සේකා ගේ රැස්වීමේදී එදා චන්ද්‍රසේන විජේසිංහ මන්ත්‍රීවරයා මේ ලිපිය ඉදිරිපත් කරමින් කථාකළා. මම ඒ මන්ත්‍රීවරයාගෙන් ලිපියේ පිටපතක් ඉල්ලාගත්තේ මේ ඉදිරිපත් කිරීමට ලිඛිත සාක්ෂියක් මාධ්‍යවේදියකු වන මට අවශ්‍ය නිසා.
මම සිරසට කැසට් පටිය යැව්වහම එහේ හිටපු නිලධාරියෙක් මට කිව්වා ඒ ලිපිය එවන්න කියලා. මම ඒක පැක්ස් කරා. ඒ ලිපිය තමයි එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පොලිස්පති වරයාට ලැබුණේ. ප්‍රතිඵලය වුනේ රහස් පොලීසිය ඒ ලිපියේ තිබුණු පැක්ස් කරපු අංකය හොයාගෙන ඇවිත් මාව සොයා ගැනීම මගෙන් ඇහුවේ පොලීසියේ කාගෙන්ද මේ පැක්ස් පණිවුඩය ලැබුණේ කියලා. මම ඉතින් මට ලිපිය ලැබුණේ චන්ද්‍රසේන විජේසිංහ මන්ත්‍රීවරයාගෙන් බව කිව්වා.
ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. කිසිම රටක මාධ්‍යවේදීන්ගෙන් තමන්ට තොරතුරැ ලැබුණේ කොහෙන්ද කියලා ප්‍රශ්න කරන සිරිතක් නැහැ. මාධ්‍ය නිදහසක් තියෙනවා. අපේ රටේ මාධ්‍ය නිදහස වලපල්ලට ගිහින් බව මේකෙන් නැවත වතාවක් තහවුරැ වෙනවා. පසුගිය දකුණු පළාත් සභා මැතිවරණය ආරම්භ වූවාට පසුව මගෙන් රහස් පොලීසිය තුන් වතාවක් ප්‍රශ්න කළා. පොලීසිය එක් වතාවක් ප්‍රශ්න කළා. මාධ්‍ය නිදහසේ උපරිමය වෙන්න ඇති ඒ.
තවත් ප්‍රශ්නයක් තියෙනවා. මාධ්‍යමගින් පොලීසියේ සිදුවූ අක්‍රමිකතාවයන් හෙළිකරාම ඒ අක්‍රමිකතා කරපු නිලධාරියාට දඩුවම් නොදී ඔහුට නීතිය ක්‍රියාත්මක නොකර ඒ හෙළිකිරීමට දායක වූ අයගෙන් ප්‍රශ්න කිරීම ගැටළුවක්.

Monday, January 4, 2010

මැතිවරණය



මැතිවරණ උණුසුම දැන් හැමතැනකටම දැනෙන්නට පටන් අරගෙන. දකුණු පළාතේ මේක විශේෂයි. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධානතම අපෙක්ෂකයන් දෙදෙනාම දකුණු පළාතේ වීම මෙයට හේතුවක් වී ඇතැයි ද සිතිය හැකියි. ඒ වගේම දැනට වැඩිම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ද දකුණු පළාතෙන්.
කොහොම වුනත් ගාල්ල ගත්තොත් මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම නම් එළිපිටම සිදුවන බවයි පෙනෙන්නට තිබෙන්නේ.
ගාල්ල පොලීසිය ඉදිරිපිට එක්තරා අපේක්ෂකයකුගේ විශාල ප්‍රමාණයේ දැන්වීම් සවිකරලා තිබෙන ආකාරය දකින්නට පුළුවන්. මේ දැන්වීම් ගලවන්න තමන්ට කම්කරැවන් නැතැයි කියන පොලීසිය ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට පොලිස් මුරකාවල් පවා යොදලා. පොලීසිය ක්‍රියාත්මක වන්නේ රජය කියන විදියට නිසා එහෙම නොකර බැරැව ඇති. ඉතින් මැතිවරණ නීති උල්ලංඝනය කරන්නේ ඒවා වළක්වන් ඉන්න නීතිය සාධාරණය ගොඩනගන්න ඉන්න පොලීසියම නිසා අපිට ඇතිවන්නේ දැඩි පිළිකුලක්. මේවා ගැන බුද්ධිමත්ව හිතලා හොද තීරණයක් ගැනීමේ අවස්ථාව අපිට ජනවාරි 26 දා උදාවෙනවා.

Saturday, December 26, 2009

සුනාමියට පස් වසරයි.


අදින් වසර පහකට පෙර සුනාමියෙන් ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ විනාශ වෙලා ගියා. ඒක නපුරැ හීනයක් වගේ. මම සුනාමියට සෘජුවම හසු නොවුනත් එහි භයංකර බව අත්වින්දා. අද උදේ 9.25 ට මුළු ලංකාවම විනාඩි දෙකක් නිශ්ශබ්දව සිටිමින් සුනාමිය නැවත සිහිපත් කළා. ඒ වෙලාවේ මම හිටියේ ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට.
එදා සුනාමියට බිමට සමතලා වුණ බස්නැවතුම් පොළ අවුරැදු පහක් ගිහිල්ලවත් හදන්න අපේ නායකයන්ට හැකියාවක් ලැබුණෙ නැහැ.
බස් නැවතුම්පොළ හදනවා කියල පුරසාරම් දොඩපු එක්තරා ඇමතිවරයෙක් සුනාමියේ අවුරැදු පහ සමරන වෙලාවේ ගාල්ල සමනළ ක්‍රීඩාංගණේ සැණකෙළික් සූදානම් කරලා. ගාලු සමය කියල ඒකට කිව්වට අපිනම් කියන්නේ ගාලු සමයම කියලා. සුනාමියෙන් මියගියපු අය සමරන්න සිදුවූ විනාශය සමරන්න කරන සැණකෙළියක්.
ඒ සම්බන්ධයෙන් අද අපූරැ වැඩක් වුණා. මේ ඇමතිවරයා කවදාවත් ගාල්ලේ ඉන්න මාධ්‍යවේදීන්ට තමන්ගේ වැඩ කිසිවක් කියන්නේ නැහ. වලව්වට අනිත් අය ගැලපෙන්නේ නැති නිසා වෙන්න ඇති. එත් අද සුනාමි නිසා කොළඹින් ලොකු ලොකු මාධ්‍යවේදීන් ගෙන්නව ගන්න බැරැව ඊයේ රාත්‍රී අපේ අයට දුරකථනයෙන් දැනුම් දීලා. ඒ කියල තියෙන්නෙත් තෝරාගත්තු කිහිප දෙනෙකුට විතරයි.
අපි සාමූහික තීරණයකට එළඹුනා. කිසිම මාධ්‍යවේදියෙක් ගාලු සමයමට ගියේ නැහැ. කවුරැ හරි ගියානම් ඒ ඉතින් ......................................... අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.
සුනාමියට පස් වසරක් සම්පූර්ණ වුණු වෙලාවේ ගාල්ල නගරය නිශ්ශබ්ද වුණු හැටි දැක්වෙන ඡායාරෑපයක් තමයි මේකේ පල කළේ.

Friday, December 25, 2009

ජනරාල්ට විරෝධයක්


අද හරිම මහන්සි දවසක්. සුනාමි සංවත්සර දිනය හෙටට යෙදී තිබෙන නිසා පත්තරේට ඒකට අදාලව ලිපි කිහිපයක්ම ලිව්වා. ගාල්ල සුනාමියෙන් විනාශ වුනේ අපේ ඇස් පනා පිටම. ඒත් අපේ දේශපාලකයන්ට සුනාමියට වැනසීගියපු ගාල්ල නගරය හදාගන්න තාමත් බැරිවුනා. ලිපිය ලියනකොට තමයි මේ ගැන ඇත්තටම දුක හිතුනේ. මොනව කරන්නද ?
මහ දවාලේ තවත් වැඩක් තිබුණා. ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට විරෝධතාවක්. ප්‍රදේශයේ දේශපාලන බලවතෙක් මෙය සංවිධානය කළේ. හේතුව ජනරාල් සරත් පොන්සේකා කළායැයි කියන ප්‍රකාශය. ජනරාල් එවැනි ප්‍රකාශයක් නොකළ බව කියාසිටියා. තමන් ජනරාල්ගේ ප්‍රකාශය පුවත් පතේ සටහන් කළේ වැරදීමකින් බවත් එය කරැණු තෝරාබේරා ගැනීමකින් තොරව සිදුවූවක් බවත් සන්ඩේ ලීඩර් පුවත් පත පසුව තම මුල්පිටුවේම සටහන් කර තිබුණා. නමුත් ආණ්ඩුව දැන් ඒක කියන්නේ නැහැ. වෙනදා රජය කැලෑ පත්තරයක් යැයි කියපු සන්ඩේ ලිඩර් පත්තරේ තිබුණු කතාවක් උපුටා ගනිමින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා යස අපූරුවට.
ඒත් අපිට ආරංචි විදියටනම් ඒ පත්තරේ නිවැරදි කිරීම ජාත්‍යන්තරයට පෙන්වා දීල තියෙන්නේ මේ ආණ්ඩුවමයි. රටේ මිනිස්සුන්ට කියන්නේ වෙන කතාවක්. මේක තනිකර දේශපාලන බංකොලොත්බව කියලයි මට හිතෙන්නේ.
රෝහලක් ලග වාහනයක නලාව නාදකිරීමත් තහනම් නමුත් මේ අය ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන උද්ඝෝෂණය කළා. සංවිධානය කරපු අයනම් කිව්වේ දහසක් විතර මේකට ඇවිත් හිටියා කියලා. නමුත් මම සියළුම දෙනාව ගණන් කළා. පැමිණ සිටියේ හරියටම 186 යි. එයින් 20 ක් විතර සංවිධායකයෝ. තවත් 15ක් විතර ප්‍රාදේශීය දේශපලාකයෝ. ඉතින් හිතාගන්න පුළුවන්නේ.
මේක මහ විහිළුවක්
මගේ ඡන්දය දෙන්නේ කාටද කියලා නැවත නැවතත් සිතා බැලිය යුතුයැයි මම තීරණය කළා.

Wednesday, December 9, 2009

යුද්දෙට ගිය සෙබළා

මට හදිසියේම වැලි ඔය යන්න අවස්ථාවක් ලැබුණා. මම හිතුවෙ මේ ගමන අවසර ඇතිව යන ගමනක් කියලා. නමුත් අපිට නිසි අවසරයක් තිබුණෙ නැහැ. ඒ නිසා ගියපු වැඩේ අතරමග දාලා නැවත ආපසු එන්න සිද්ද වුනා. මේ එද්දී අපූරැ සෙබළෙක් හමුවුණා.
මම ඔහු ගැන සටහනක් තැබිය යුතුමයි. ඔහු ශ්‍රී ලංකා හමුදාවේ එක් සෙබළෙක් පමණක් වුවත් යුද්ධයට මුහුණ දීපු සමස්ථ සෙබළුන්ගේ කථාන්තරයෙන් කොටසක් ඔහු මා සමග කියා සිටියා.
මට ඔහු හමුවන විට ඔහු සිටියේ ඉතාමත්ම සතුටින්. මාත් එක්ක ඔහු කථාවට වැටුණා. මම ඇහුවා ගම් පළාත කොහේද කියලා. අනුරාධපුරයේ දුෂ්කර ගම්මානයක්. නමුත් තවත් දවස් පහකින් ඔහුගේ පදිංචිය වැලි ඔයලු. මම ඇහුවා ඇයි කියලා. ඔහු කියපු කථාවට මට ඇඩුණේ නැහැ. ඒත් ඒක අඩන්න හිතෙන කථාවක්.
මම ඔහුගේම වචන වලින් කියන්නම්.
මම දැන් හමුදාවට බැදිලා අවුරැදු අටක් වෙනවා. මේ අවුරැදු අටෙන් වැඩිම කාලයක් හිටියේ යුද බිමේ. මම යාළු වෙලා කසාද බැන්දා. වතාවක් මම තුවාල වුනා. මට වෙඩි වැදෙන කොට මගේ නෝනට ළමයෙක් ලැබෙන්න හිටියා. එයා ගොඩක් බය වුනා. මට සිහිය එන කොට එයා මගේ ලග හිටියා. ඒත් එයාගේ හිතට ආපු බය නිසාම එයා ලෙඩෙක් වෙලා. සැරින් සැරේට බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. අන්තිමේද මගේ පුතා මන්ද මානසික ලමයෙක් වුනා. දොස්තරලා කිහිපදෙනෙකුටම පෙන්නුවා. හැමෝම කිව්වේ නෝනා ගොඩක් බය වෙච්ච නිසා එහෙම වෙන්න ඇති කියලා.
මම ආපහු යුද්දෙට ගියා. ඒ ළමය ලොකු වෙද්දී අපිට දෙවැනි දරැවා ලැබුණා. එයා හොදින් ඉන්නවා. ඒත් නෝනා යුද්දෙට හරිම බයයි. එයා නිතර නිතර ලෙඩ වෙන්න ගත්තා. දැන් දොස්තරල කියනවා එයාට සැරින් සැරේට පිස්සු හැදෙනවා කියලා.
මම මාස ගාණක් යුද්ධ කරද්දී එයා දරැ‍වො දෙන්නා එක්ක ගෙදර තනියම. දැන් යුද්දෙ ඉවර නිසා මම මේ පැත්තේ පොඩි ගෙයක් කුලියට ගත්තා. දැන් මට මගේ නෝනයි දරැවො දෙන්නයි මෙහේ එක්කගෙන එන්න පුළුවන්.
මට මුළින්ම වෙඩි වැදුණු වෙලාවේ මම හමුදාවෙන් ඉල්ලුවා මට ගෙවල් පැත්තට මාරැවක් දෙන්න කියලා. ඊට පස්සේ නෝනා ලෙඩ වුනාම මාරැවක් ඉල්ලුවා. ඒත් ඒ කිසිම ඉල්ලීමක් පලක් වුනේ නැහැ. මේක අපි ලබා උපන් හැටි වෙන්න ඇති.
අපි දුප්පත් කම නිසා හමුදාවට ආවේ. ඒත් යුද්දෙ කරන කොටනම් රට වෙනුවෙන් මැරෙන්න වුනත් සූදානමින් හිටියේ. අන්තිමේදී අපිට ඉතිරිවෙන්නේ දුක විතරයි.

මම මේ ගැන මගේ අදහස් කිසිවක් නොකියමි. අදහස් ප්‍රකාශ කිරීම ඔබට භාරයි.

Saturday, October 3, 2009

මැතිවරණ නිරීක්ෂකයන්ගේ මහා බොරැව


මැතිවරණ සමයේ ඡන්ද නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපි දැඩි සේ විරෝධතාව ප්‍රකාශ කරන්නෙමු. මේ සදහා පසුගියදා එක්තරා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ කොළඹදීය. එහි ගිය මාධ්‍යවේදීන්ට මෙහි දැක්වෙන ඡායාරෑපය ද ලැබුණි. එම ඡායාරූපය පෙන්වමින් එම සංවිධානයේ ලොක්කෙක් කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වරයා සහ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා තමන්ගේ කාර්යාලය ඉදිරිපිට වැටෙහි අපේක්ෂකයන්ගේ ඡායාරූප එල්ලාගෙන මැතිවරණ කටයුතු කරන බවයි. මෙය දැඩි චෝදනාවකි. එසේ කරනවානම් ඔවුන්ට නිසි දඩුවම් දිය යුතුය. ඒ නිසා මෙය කොළඹ දී සාකච්ඡාවට සහභාගිවූ මාධ්‍යවේදීනට අපූරු පුවතක් විය.
මම ගාල්ලේ උපන්නෙමි. ජීවත් වන්නේද ගාල්ලේය. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන බැවින් දිනපතා ගාල්ල නගරයට පැමිණෙන අතර බොහෝ අවස්ථා වලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලට අසළින් ගමන් කරන්නෙමි. මම දිනපතාම මේ ගොඩනැගිල්ල දකින්නෙක්මි.
මේ ඡායාරූපය බැලූ බැල්මට පෙනෙන්නේ අර මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ලොක්කා කී කතාව සත්‍යයක් බවයි. නමුත් හොදින් බලන්න. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඡායාරූපයක් ඇත. එහි බිත්තියේ වර්ණය රෝස පැහැයෙන් පෙනේ. ඒ ඉදිරිපිට වැටක් ද තිබේ. ඒ වැටෙහි ඇති කණු කළු ගලින් නිර්මිතයි නේද ?
දෙවැනි ඡායාරූපය බලන්න. හොදින් බලන්න එහි ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙන් වැටක් තිබේ. නමුත් පසුපසින් පෙනෙන ගොඩනැගිල්ලේ කොටස සුදු පැහැතියි නේද ? දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති රෝස පාට බිත්තිය මෙහි සුදු පැහැය ගත්තේ කෙසේද ?
දෙවැනි ගැටළුවනම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැටෙහි තැන තැන ඇති තාප්ප කොටස කළු ගලින් නිර්මාණය වී තිබීමයි. නමුත් පුවරැව සහිත ස්ථානයේ වැටෙහි ඇති කණු කහ පැහැති තීන්ත ආලේප කර ඇත. කළු ගලින් නිර්මාණය කළ තාප්පය කහ පැහැති වූයේ කෙසේද ?
මෙයට පිළිතුරු ඔබට නැතුවා විය හැකියි. නමුත් එයට පිළිතුර මා සතුව තිබේ.
ගාල්ල ගැන නොදන්නා අයට මෙය අරුමයක් වුවද අපට එය අරුමයක් නොවේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ල පෙන්නා මේ මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වන පුවරුවේ ඡායාරූපය ගෙන ඇත්තේ ගාල්ල ජාත්‍යන්ත ක්‍රික‍ට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉදිරිපිටදීය. මේ එතැන සවිකර තිබූ මැතිවරණ ප්‍රචාරක පුවරැවකි.
නමුත් මේ ඊනියා මැතිවරණ නිරීක්ෂකයෝ මාධ්‍යවේදීන් ද නොමග යවමින් පවසන කරුණු කොතරම් බරපතලද ? මොවුන් ට දිය යුතු දඩුවම කුමක් ද ?
නමුත් එකක් නම් කිව යුතුව ඇත. දකුණේ ඡන්දය එකම පක්ෂයේ අය පවා මරා ගන්නා අන්ත දූෂිත මැතිවරණයක් බවට පත්ව තිබේ.......................................