අපේ රටේ මැතිවරණයකදී මේ රටේ මිනිසුන්ටනම් ප්‍රතිපත්ති ගැන වගේ වගක් නැහැ. ඔවුන් තමන් ඡන්දය දෙනේනේ කවරකුට දැයි තීරණය කරන්නේ මහා පුදුමාකාර ආකාරයට. මේ ඒ වගේ කීප දෙනෙක් මා සමග කියපු කථාවක්.
අපේ සහෝදර මාධ්‍යවේදියෙක් ඉන්නවා. මිනිහා පරම්පරාගත යූඑන්පී කාරයා. මුලදි කිව්වා යූඑන්පී එකට ඡන්දෙ දෙනවා කියලා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්නේ. ටික දවසකට පස්සේ මිනිහා කිව්වා කුසලානෙට ඡන්දෙ දෙනවා කියලා. ඇහුවහම කිව්වේ ෆොන්සේකාට කරපු අසාධාරණය නිසා දෙනවා කියා. එයාගේ ගුරුමණ්ඩලයේ අයත් වැඩි දෙනෙක් කුසලානෙට දෙනවා කිව්වා. ඊයේ මෙයා කියනවා මමනම් සන්ධානයට තමයි කියලා. මම පුදුම වෙලා අහුවා අැයි කියලා. මෙන්න ඒ පාර කියනවා අපේ දූගෙ ඉල්ලිමට වෙනස් වුනා කියලා. ඇයි දූට රස්සාවක් ලැබෙනවාද කියලා ඇහුවහම මෙයා කියන්නේ දූ යන ඉස්කෝලෙ හදපු රිචඩ් පතිරණගෙ පුතාට ඡන්දෙ දෙන්න ඕන කියලා දූ අඩනවලු ඒ නිසා ගෙදර හැමෝම එයාට ඡන්දෙ දෙනවළු. ඒක එතුමාගේ කැමැත්තනේ.
ඔන්න දවසක් මට හමුවුණා තවත් ඇමතිවරයෙක්. මෙයා කියනවා මම පළාත් සභාවේදි නිශාන්ත මුතුහෙට්ටිගමට ඡන්දය දුන්නා කියලා. මම ඇහුව ඇයි විශේෂය කියලා. එතකොට කියනවා එයාව හැමෝම කොන් කරන නිසා මම ඡන්දය දුන්නා කියලා.
ඉතින් දවසක් වෛද්‍යවරයෙක් මාර කතාවක් කිව්වා. නිශාන්ත ෆුල් ආතල් එකක් දෙනවා. ඒ නිසා මම ඡන්දෙ දෙනවා කියලා. එතන හිටපු තවත් කෙනෙක් කියනවා පරණ ඇමතිවරු පහලට ඇදලා නිශාන්ත වගේ කෙනෙක් පළමුවැනියා කරන්න ඕන නිසා මම ඡන්දෙ දෙන්නේ එයාට කියලා.
මම දවසක් ත්‍රී වීලර් එකක යද්දී ඒ රියදුරාගෙන් ඡන්‍දය ගැන අහුවම එයා තෝරගෙන හිටියේ ලයනල් ප්‍රේමසිරි හේතුව එයාගේ අම්මට ඇස් කණ්ණාඩි දෙකක් දීම සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව ඉතා නිහතමානී සහ අහිංසක ඡන්ද සටනක් දියත් කිරීම.
මගේ ගේ ඉස්සරහ පාරේ ගිය තරැණියන් දෙදෙනෙක් දවසක් කථා කර කර ගියේ මනුෂ නානායක්කාර හරිම හැන්ඩ්සම් ඒ නිසා එයාටනම් ඡන්දයක් දෙන්නම ඕන කියලා.
මගේ තවත් යාළුවෙක් ඉන්නවා. ජනාධිපතිවරණයේදී ෆොන්සේකාට ඡන්දය දුන්නා කියමින් යන කෙනෙක්. එයා මේ පාරත් කියන්නේ ගාල්ලෙන් පාර්ලිමේන්තුවට කුසලානෙන් එක්කෙනෙක් හරි යවන්න ඕන නිසා එයා කුසලානයට ඡන්දය දෙනවා කියලා. ඒත් මමයි ඔහුයි පමණයි දන්නේ ඔහුට ජාතික හැදුනුම්පතක් හෝ තාවකාලික හැදුනුම්පතක් හෝ නොමැති නිසා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතියක් නැති බව.
මගේ මාධ්‍ය සගයෙක් පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ලේඛකයකු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ පලකරමින් පුවත් පත් දැන්වීමක නම සදහන් කර තිබුණා. අන්තිමේදි ප්‍රතිඵලය වුනේ මේ පත්තරකාරයාට තමන්ගේ පත්තර රස්සාවේදී මැතිවරණ ගැන ලියන්නට නොහැකිවීම.
මේ අතරේ මට අපේ ගෙවල් ගාව කාන්තාවක් අපූරැ කතාවක් කිව්වා. එයා මේ කථාව මට කියන්න ඉස්සෙල්ලා එතන හිටියා කුසලානයේ ආධාරකරැවෙක්. ඔහු ඉන්නතුරු කුසලානයට ඡන්දය දෙන බව කියපු මේ කාන්තාව ඔහු එතැනින් නික්ම ගිය වහාම කිව්වේ. අනේ මහත්තයෝ ඡන්ද කොලේ අලිය ඉන්නවා දැක්කම මොන කුසලානද අලියටම තමයි අත යන්නේ.
ඉතින් මේ වගේ සිදුවිම් තවත් තියෙනවා. මැතිවරණ ප්‍රතිඵල එළියට එනතුරැම මේ ගැන ලියන්නම්. අදට මේ ඇති. ලිපිය දිග වුණොත් කට්ටියට කියවන්නත් එපා වෙනවග ඉතිරිය හෙට
සදාචාරවත් මාධ්‍ය කර්මාන්තයක් මෙරට ජනතාව වෙත තිළිණ කරමින් ජනතාවට වගකියන ජනතා විශ්වාසය දිනාගත් මාධ්‍යයක් වෙනුවෙන් කරනු ලබන කැපවීමකි
Sunday, April 4, 2010
Saturday, April 3, 2010
මළවුන්ටත් නිගා දෙන කරාපිටිය රෝහල
මම කරාපිටිය රෝහල ගැන ඊයේත් සටහනක් තැබුවා. මේ එහි තවත් පැතිකඩක්. පුද්ගලයෙක් මියගියහම අපේ රටේ හදුන්වන්නේ අවමංගල්‍යය කියලා. මරණයත් මංගල්‍යයක් සේ උත්සවාකාරයෙන්, අති ගෞරවනීය ලෙස සළකන්න අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියා. සුද්දා අපිට හදුන්වා දීපු නීතිය අනුවත් මැරුණු පුද්ගලයකුට ගෞරවනීය තත්ත්වයක් ලැබිය යුතුයි.
කරාපිටිය රෝහලේ කෙනෙක් මියගිය විට ඔහු හෝ ඇය ගේ සිරුර මෘත ශරීරාගාරයට ගෙනගොස් දමනවා. මේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 24 ක් තැන්පත් කළ හැකි ආකාරයට අධිශීතකරණ හතරක් තිබෙනවා. මේ එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරක් විය යුතුයි.
නමුත් දැනට කාලෙකට ඉස්සෙල්ලා මේ එකක් අක්‍රිය වුනා. ඒක හැදුවේ නැහැ. දෙවැනි එකත් අක්‍රියයි. ඒකත් හැදුවේ නැහැ. ඒ දෙකේම දැමිය යුතු මළ සිරුරු එකපිට එක තියලා අනෙක් දෙකට දැම්මා. දැන් මේවා වෙනදාට වඩා අමාරුවෙන් වැඩකරන්න වෙනවා. ඉතින් තවත් එකක් කැඩුණා. කරාපිටිය රෝහලේ පාලන අධිකාරියේ ප්‍රධානියා වන අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියානි සේනාධීර මහත්මියට මේ ගැන කියා තිබුණත් පලක් වුණේ නැහැ. ටික දවසකින් අධි ශීතකරණ හතරම කැඩිලා. මළ සිරුරු 18ක් තිබියදී. දැන් ඒ එක අධිශීතකරණයක උෂ්ණත්වය අංශක 40 ක්. මළ සිරුරු පණුවෝ හැදිලා. කරාපිටියේ මෝචරිය එහෙමත් නැත්නම් මෘත ශරීරාගාරය පැත්තේ කාටවත්ම යන්න හැකියාවක් නැහැ. පළාතම ගද ගහනවා. ඒ විතරක් නෙවෙයි අර මළ සිරුරු කුණු වෙනවා. පණුවෝ මෘත ශරීරාගාරයේ බිම විතරක් නෙවෙයි බිත්ති දිගේත් දුවනවා. ඒක තනිකරම අපායක්.
මේක දැනගත්තු ගමන්ම මම ගියා. ගිහින් ඒ සියල්ල ඡායාරූප ගත්තා. වීඩියෝ කළා. වීඩියෝ පටය සිරසටත්, ඡායාරූප ලංකාදීපයටත් යැව්වා.
පුවතක් සමබර වෙන්න ඕන නිසා මම අධ්‍යක්ෂතුමියගෙන් විමසුවා. ඇය වැඩ ගොඩක් තියෙනවා කියලා මග ඇරලා සේවකයන්ට බැන වැදිලා අන්න සිරසෙන් ඇවිත් වීඩියෝ කරලා පුළුවන් තරම් ඉක්මනට සුද්ද කරන්න කියලා. පසුවදා සුද්ද කරන්න පටන් ගත්තා. එදා එතුමියට මම දුරකථන ඇමතුමක් දුන්නම කිව්වා සතියකට ඉස්සෙල්ලා කැඩිල තිබුණා. පණුවොනම් හිටියේ නැහැ. ඒත් දැන් ඒක හදලා කියලා. අපි මේ සිදුවීම සිරස ටී.වී. ඔස්සේ ප්‍රචාරය කළා. රෑ ඒ පුවත දැකපු අධ්‍යක්ෂතුමිය පසුවදා උදේ පාන්දරින්ම ඇවිත් වේලාසනින්ම රතු ඉර ගහලා තියෙනවා. ඒ අපිට තොරතුරු දෙන සේවකයන්ගෙන් පළිගන්නලු. කමක් නෑ කොහොම හරි මෝචරිය සුද්ද කළානේ. ඒත් මේ පාලනය කරාපිටිය රෝහලට ගැලපෙනවාද කියන එකනම් ලොකු ප්‍රශ්නයක්
මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ මෝචරිය, එහි ශීතකරණ, ඒවා ඇතලේ පණුවන් හැදී තිබෙන නරක්වූ මළ සිරුරු සහ පණුවන් බිම පවා සිටින ආකාරය. ඒ වගේම අපේ සහෘදයන්ගේ ඉල්ලීම නිසා ඔන්න මම කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂිකා ප්‍රියානි සේනාධීර මහත්මියගෙත් ඡායාරූපයක් මෙහි පලකරනවා. ඒ රෝහලේ පැවැති පිරිත් පිංකමක් වෙලාවක ගත්තු ඡායාරූපයක්
Friday, April 2, 2010
කරාපිටිය රෝහලේ අන්තනෝමතික පාලනය
ගාල්ල කරාපිටියේ පිහිටි ශික්ෂණ රෝහල කියන්නේ දකුණු පළාතේම ඇති ප්‍රධානතම රෝහල බව නොරහසක්. ඒත් දැන් මේකට අළුතෙන් ආපු අධ්‍යක්ෂවරිය නිසා රෝහලට හෙනහුරා ලබල කියලා පැහැදිලියි. පහුගිය දවස්වල මේ රෝහලේ කාර්ය මණ්ඩලය එක දිගට උණ රෝගයකින් පෙළෙන්න වුණා. මේ වැඩි දෙනෙක් ඩෙංගු රෝගීන් බව පැහැදිලි වුණා.
අවසානයේ නගර සභාව කළේ රෝහල් භූමිය, වෛද්‍ය හා හෙදි නේවාසිකාගාර පරීක්ෂා කිරීම. නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රෝහලේ ඇති ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන රැසක් සොයාගත්තා. ඔවුන් ඒ ස්ථානවල ඡායාරූපත් ගත්තා. මේ ඡායාරූපත් ඉදිරිපත් කරමින් නගර සභාව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියානි සේනාධීර මහත්මිය ලිඛ්තව දැනුම් දුන්නේ ඒ ස්ථාන විනාශ කිරීම හෝ පිරිසිදු කිරීම කරන ලෙසයි.
ඒ දැනුම් දිම කරල තියෙන්නේ පසුගිය මාර්තු අටවැනිදා. ඒත් ඒ ස්ථාන තවමත් තියෙන්නේ ඒ විදියටමයි. කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් අහන්න කිසිම කැමැත්තක් නැති අධ්‍යක්ෂතුමිය රෝහල ගැන මම බලාගන්නම් ඔයාලා තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියලා මට කිව්වේ මාධ්‍යවේදියෙක් ලෙස මේ උද්ගතව ඇති භයානක තත්ත්වය ගැන විමසන්න ගියපු වෙලාවේ. මෙහෙම අධ්‍යක්ෂවරියක් ඉන්න කරාපිටියට සිදුවන දේ අනාගතයේදී දැකගන්න පුළුවන් වේවි ! අනේ අහිංසක රෝගීන්....................
අවසානයේ නගර සභාව කළේ රෝහල් භූමිය, වෛද්‍ය හා හෙදි නේවාසිකාගාර පරීක්ෂා කිරීම. නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු රෝහලේ ඇති ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන රැසක් සොයාගත්තා. ඔවුන් ඒ ස්ථානවල ඡායාරූපත් ගත්තා. මේ ඡායාරූපත් ඉදිරිපත් කරමින් නගර සභාව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ ප්‍රියානි සේනාධීර මහත්මිය ලිඛ්තව දැනුම් දුන්නේ ඒ ස්ථාන විනාශ කිරීම හෝ පිරිසිදු කිරීම කරන ලෙසයි.
ඒ දැනුම් දිම කරල තියෙන්නේ පසුගිය මාර්තු අටවැනිදා. ඒත් ඒ ස්ථාන තවමත් තියෙන්නේ ඒ විදියටමයි. කිසිම කෙනෙක් කියන කිසිම දෙයක් අහන්න කිසිම කැමැත්තක් නැති අධ්‍යක්ෂතුමිය රෝහල ගැන මම බලාගන්නම් ඔයාලා තමුන්ගේ වැඩක් බලාගෙන ඉන්න කියලා මට කිව්වේ මාධ්‍යවේදියෙක් ලෙස මේ උද්ගතව ඇති භයානක තත්ත්වය ගැන විමසන්න ගියපු වෙලාවේ. මෙහෙම අධ්‍යක්ෂවරියක් ඉන්න කරාපිටියට සිදුවන දේ අනාගතයේදී දැකගන්න පුළුවන් වේවි ! අනේ අහිංසක රෝගීන්....................
දිරිමත් කළ මිතුරන්ගේ ඉල්ලීම ..............
පසුගිය කාලයේ ඇතිවූ සිදුවීම් ගණනාවක් හේතුවෙන් මේ බ්ලොග් සටහන ලිවීම නතර කැර දැමීමට තීරණය කළෙමි. එහෙත් මගේ බ්ලොග් සටහන කියවූ සහෝදර බ්ලොග් කරැවන්ගේත් මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේත් ඉල්ලීම නිසා නැවතත් මේ බ්ලොග් අඩවිය ලිවිය යුතුයැයි තීරණය කළෙම
ඔන්න එහෙනම් අද ඉදලා මම නැවත මේ බ්ලොග් සටහන ලියන්න පටන් ගන්නවා. ඉදිරියටත් ඔබේ සහයෝගය උදක්ම අපේක්ෂාවෙන්. දිරිමත් කළ සියළු දෙනාටම ස්තූතියි. කියවන හැමෝටමත් පින්......................
ඔන්න එහෙනම් අද ඉදලා මම නැවත මේ බ්ලොග් සටහන ලියන්න පටන් ගන්නවා. ඉදිරියටත් ඔබේ සහයෝගය උදක්ම අපේක්ෂාවෙන්. දිරිමත් කළ සියළු දෙනාටම ස්තූතියි. කියවන හැමෝටමත් පින්......................
Thursday, February 11, 2010
අමන රට පාලනය කරන පොලීසියේ සත්ගුණවත් ප්‍රහාරය
ඊයේ. ඒ කියන්නේ 2010 පෙබරවාරි 10 වැනිදා සවස ගාල්ල නගරයේදී ජනරාල් සරත් පොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වෙන බව දැනගන්න ලැබුණා. මම මාධ්‍යවේදියෙක් හැටියට එතැනට ගියේ එය වාර්තා කරන්න. නමුත් උද්ඝෝෂණය විසුරැවා හරින්න පොලීසිය කටයුතු කළා. එක් වියරැ වැටුණු පොලිස් නිලධාරියෙක් තමන්ගේ නිල ඇදුම පිටින්ම ඇවිත් පොල්ලක් අරගෙන මටත් තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකුටත් අසළ සිටි පිරිසටත් පහර දුන්නා. ඒ පහර දෙද්දී උද්ඝෝෂකයෝ හිටියේ ගාල්ල ක්‍රීඩාංගණය පැත්තේ මම හිටියේ පොලීසිය පැත්තේ. මම මගේ අහලකවත් උද්ඝෝෂකයෝ හිටියේ නැහැ.
මේ පොලීසිය උද්ඝෝෂකයන්ට පහර දීලා ඔවුන් එළවලා අන්තිමේදී දෙනෝ දාහක් දෙනා ඉන්න ගාල්ල බස් නැවතුම්පොළටත් පහර දුන්නා.
මේ අමන රටේ මිනිස්සුන්ව වෙන කොහොම පාලනය කරන්න ද කියලා අපේ සත්පුරැෂ පොලිස් නිලධාරීන් හිතනවා ඇති නේද ?
ඕන්න එහෙනම් ඡායාරෑප ටිකක් බලා ගන්නකෝ. මේවා වාර්තා කිරීම අපේ අතින් සිදුවිය යුතු දෙයක්. නමුත් ඒකට ගිහින් ගුටි කන්නත් වෙනවා. ඉස්සෙල්ලාම දාන්නේ මට ගහපු නිලධාරියා පොල්ලක් අතේ තියාගෙන ඉන්න හැටි. ඒක තියෙන්නේ යටින්ම ඇති ඡායාරෑපය විදියට. එයාගේ අංකය සැරයන් 589-- ඉතුරැ අංක දෙකක් තියෙනවා.
කහ ඉරමත ඉන්න මිනිස්සුවගයක් පේනවා නේද. බස් නැවතුමේ හිටපු අහිංසකයන්ට කදුලු ගෑස් ගහන කොට මේ සාමාන්‍ය මිනිස්සු ඇවිත් පොලීසියට අම්ම අප්ප මතක් කරලා දුන්නා. ඒ වෙලාවේ ලේ පෙරාගෙන තුවාල වෙලා හිටපු කෙනෙකුගේ ඡායාරෑපයත් දාලා තියෙනවා. ඒ කෙනාව රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුන වෙලාවේ ඒ අයටත් කදුලු ගෑස් පාරක් වැදුනා.
Monday, February 8, 2010
සාගරයක් මැද අමන රටක් ඇත. මෙහෙම අමනකම් ලෝකෙ තවත් නැත.
මේ අමන රටේ මේ වගේ බ්ලොග් එකක් ලියලා වැඩක් නැත. ඒ නිසා මෙය ලිවීම මම අද මේ මොහොතේ සිට නවතා දමමි. මෙතෙක් මගේ බ්ලොග් සටහන් බැලූ සහ එයට අදහස් දැක්වූ සියළුම අයට අනේක වාරයක් ස්තූති කරමි.
Saturday, January 30, 2010
ආයුබෝවේවා මහරජාණනේ !

ජනාධිපති මහින්ද රාජපක්ෂ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකැර ගත්තේය. ඔහු පරදිනු ඇතැයි මුළු රටේම කථා පැතිරෙද්දී ප්‍රධාන ප්‍රතිවාදියාට වඩා ඔහු වැඩි ඡන්ද මිලියන 1.8 ක් හිමිකැර ගත්තේය. එය සැබැවින්ම විජයග්‍රහණයකි. එමෙන්ම රටේ බහුතර ජනතාව ඔහුට කළගුණ සළකා තිබේ.
මේ ජයග්‍රහණය අතිශයින්ම වැදගත්ය. ඒ කොටි ත්‍රස්තයන් පරාජය කිරීමෙන් පසු පැවැත්වූ පළමු ජනාධිපතිවරණය ජයගැනීම නිසාම පමණක් නොවේ. මෙරට මැතිවරණ ඉතිහාසයේ රටේ නායකයකු දෙවැනි වතාවට ඡන්දය ඉල්ලද්දී ජනප්‍රියත්වයෙන් වැඩිවූ බවක් පෙන්වන එකම අවස්ථාව බැවිනි.
ජනතාව තමන්ගේ නායකයා කෙරෙහි බලාපොරොත්තු තබා තිබේ. මෙය රටක කලකින් දැකිය නොහැකි ප්‍රවණතාවයකි. මැතිවරණ ප්‍රතිඵල වෙනස් කැර ඇතැයි විරුද්ධ පක්ෂය චෝදනා කරයි. එහෙත් එවැන්නක් කළ නොහැකි බව මම හොදා කාරවම දනිමි. ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයකු ලෙස සහභාගී වී පලපුරුද්දක් ඇති මගේ අත්දැකීම අනුව එවැන්නක් කිසිසේත්ම සිදුවිය නොහැක . මේ මිලියන 1.8 ක වැඩි ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරයාට අනිවාර්යයෙන්ම ලැබුණු ඡන්ද ප්‍රමාණයකි. එය විපක්ෂය කණගාටුවෙන් වුවද අකමැත්තෙන් වුවද පිළිගත යුතුය. ඡන්දය වෙනස් කළායැයි කියන චෝදනාව මුසාවකි. එය කළ නොහැක්කකි.
මේ වනවිට යම් රාජ්‍යයක ජනප්‍රියත්වයෙන් පිරිහෙන්නේ නැති නායකයකු සිටීනම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක්ම විය යුතුය. ජනතාව ඒ තරමටම ඔහු ගැන විශ්වාසය තබා ඇත.
ඔහුට විපක්ෂය බොහෝ චෝදනා එල්ල කරන ලදී. ඒ චෝදනා ගැන ජනතාව විශ්වාසය තබා නැත. චෝදනා කවරක් වුවද ජනාධිපතිතුමා ද තමන්ගේ ඉදිරි පාලන කාලයේදී කළ යුතු කටයුතු කිහිපයක් කරළියට පැමිණ ඇත.
ඉන් ප්‍රධාන වන්නේ සරත් පොන්සේකාට රජයෙන් එල්ල කළ චෝදනා වලට නිසි දඩුවම් ලබා දීමයි .
දෙවැන්න යුද්ධයෙන් පසු තවමත් ජනතාවට පීඩනයක් වී ඇති ආර්ථික අපහසුතා වලට සහනයක් සැළසීමයි.
තෙවැන්න විපක්ෂයේ ප්‍රධාන චෝදනාව වූ දූෂණය නැති කිරීමයි.
එමෙන්ම ජනාධිපතිවරයාද පවසන පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි.
තවත් ගැටළුවක් ඇත. දෙමළ ජනතාව තවමත් සිංහල ජනතාව සමග ඒකමිතියකට නොපැමිණෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. දෙමළ, මුස්ලිම් ජනතාව ද දිනාගත යුතුව ඇත. මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාය. සුළු ජාතීන්ට ද මහින්ද ජනාධිපති වරයා හැර වෙනත් නායකයන් නොසිටිය යුතුය. අප එතැනට අනිවාර්යයෙන්ම යා යුතුව ඇත.
අවසාන වශයෙන් මෙය ද කිව යුතුය. පාලකයකුගේ ක්‍රියාකලාපය ඔහුට ඉතිහාසයේ හිමි තැන තීරණය කරයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙරට දේශපාලන ඉතිහාසයේ පතාක යෝධයාය. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පැහැදිලිය. ඔහු පැරදවිය හැකි ජගතෙකු නැත. එහෙත් ඔහු ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතමයා වීමට මා ඉහත කී සියල්ල සපුරාලිය යුතුව ඇත.
ජනපතිතුමනි. ඔබ පසුපස ජනතාව සිටින බව නැවතත් සනාථ කැර ඇත. ඔබට ඇති දැවන්ත ශක්තියද එයයි. ඔබට ඒ හැකියාව ඇති බව අපි දනිමු. රටට සුබ අනාගතයක් උදා කරන්නට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු.
Subscribe to:
Posts (Atom)