Saturday, December 20, 2014

ඡන්දය ගැන ඇහෙන, දකින, හිතෙන දේ

දැන් කාටත් මාර චූන්ය. ඒ තමන්ගේ පාලකයා තෝරාගැනීමේ අවස්ථාව ලැබී ඇති බැවිනි. රටේ නායකයා තෝරාගන්නවා යනු ලෙහෙසි කටයුතුක් යැයි මා නම් සිතන්නේ නැත. දැන් ඒ ගැන බොහෝ දෙනා කතා කරන්නේ වෙනත් කිසිදු වැඩක් තමන්ට ඇතැයි නොසිතමිනි. රටේ පාලකයා පත්කළ යුත්තේ කතා කරමින් නොව ඡන්දය පාවිච්චි කරමිනි. මේ බව අපේ බොහෝ දෙනකු එක්කෝ දන්නේ නැත. නැතිනම් ඒ ගැන හිතන්නේ නැත.
කෙසේ වෙතත් දැන් තිබෙන්නේ අපූරු සංදර්ශනයකි. හැමෝම හිතන්නේ ඔළුගෙඩි ටික ඒ පැත්තට මේ පැත්තට මාරු කරලා ඡන්දය දිනන්නය. ඔවුන් එසේ සිතීම ද නිවැරදිය. මට හිතෙන හැටියටනම් මෙරට මජහනයා තමන්ගේ ඡන්දයේ නියම වටිනාකම නොදන්නා බැවින් ඔවුන් එසේ කරයි.
ඒ පැත්තට මේ පැත්තට පනින්නන්ට කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැත. එයට හොඳම උදාහරණය පසුගිය දා පැන්න විපක්ෂයේ ප්‍රබලයෙකි. ඔහු පනින්නට දින කිහිපයකට පෙරත් ආණ්ඩුව පතුරු ගැහුවේය. දැන් අන් සියළු දෙනාට වඩා ආණ්ඩුවේ ගුණ ගයන්නේ ඔහුය.
මේ අපේ රටේ තකතීරු දේශපාලනයයි. මේ විහිළු බලා සිට අපේ අය ද තකතීරු විදියට ඡන්දය පාවිච්චි කරන බව පසිගිය සෑම මැතිවරණය ක දී ම අපට පෙණුනේය. අපි ඡන්දය දිය යුත්තේ වැඩිපුර පිරිසක් පැන එකතු වූ පක්ෂය ට ද ? පැනීමේ රැල්ලට ද ?
නැත අපි තෝරන්නේ ඒ අවස්ථාවාදීන්ගේ බඩගෝස්තරය වර්ධනය කළ හැකි නායකයා නොවේය. අපේ නායකයාය. අපේ නායකයා තෝරන්නට ඒ කිසිවක් අපට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අපේ සිහි බුද්ධියෙන් හිතා බලා ඡන්දය දිනයේ පැන්සල් කොටය භාවිතා කිරීම පමණි.
අඩුම ගණනේ රටේ නායකත්වය වෙනුවෙන් තරඟයක් දිය හැකියැයි සිතිය හැකි ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන, අරමුණු අපේක්ෂාවන් හා අතීතයේ කළ කී දෑ ගැන සොයා බලා සිතා බලා තක්සේරු කර ඡන්දය දෙන්නට අපි පුරුදු වෙමු
 නමුත් වේදනාව වන්නේ එය එසේ සිදු නොවීමයි. අද ලංකාවේ බොහෝ දෙනාගේ දේශපාලනය පැවත එන්නේ පවුලෙනි. ඒ බණ්ඩාරනායක පවුල හෝ රාජපක්ෂ පවුල හෝ සේනානායක පවුල ගැන හෝ කීවක් නොවේ.
තාත්තාගේ අම්මාගේ දේශපාලන දර්ශනය පුතාට හෝ දුවට ලැබීමයි. ඔවුන් දන්නේ තාත්තාගෙන් හා අම්මාගෙන් ඇසුණු දේශපාලන දර්ශනයක් පමණි. ඉන් එහාට සිතුවානම් සිතුවේ අම්මලා තාත්තලා නොකළ දේශපාලනයක් කළ ජේවීපී කාරයෝය. 
මේ පවුල් දේශපාලන ක්‍රමය නිසා ම ලංකාවේ යූඑන්පී කාරයෝ හා එස්එල්එෆ්පී කාරයෝ කියා හංවඩු ගැසුණු අය සිටිති. ඉන්නේ ඔවුන් පමණක් නම් රටේ කෝටි ගණන් මුදල් වියදම් කර ඡන්දයක් තිබිය යුතු නැත. අවශ්‍ය වන්නේ ජන සංඛ්‍යාලේඛණ දත්ත පමණි.
නමුත් එසේ නොවේ. ඉදහිට එක් පැත්කට හෝ අනෙක් පැත්තකට ඡන්දය දෙන්නවුන් සිටිති. නැතිනම් නොදීම ඉන්නවුන් ද කුරුටු ගාන්නවුන් ද සිටිති.
මා නම් සිතන්නේ සැවොම ඡන්දය භාවිතා කළ යුතුය. තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය දිය යුතුය. මේ කැමැත්ත තීරණය විය යුත්තේ වැඩි දෙනාගේ කැමැත්ත ලැබීම අනුව නොව ප්‍රතිපත්ති හා ඔවුන් ගැන විශ්වාසය තැබීමේ හැකියාව මතය.
රැල්ලට, පරණ පුරුද්දට, ඡන්දය නොදී අනාගතය, ප්‍රතිපත්ති, හැකියාව ගැන සොයා බලමු.
ඡන්දයක නියම ප්‍රයෝජනය ගනිමු.

1 comment:

  1. පිරමිඩ් ජාවාරම ගැන ඔබ ලියූ ලිපියක් මා කියෙව්වා.කරුනාකර ඒ ගැන යළි දැනුවත් කිරීමක් කරන්න. එය.තදින් පැතිරෙනවා

    ReplyDelete

ඔබේ හිතට නැගෙන අදහස් මට ඉතාමත්ම වැදගත්. අපිට දිරි දෙන්නේ ඔබයි මිතුරනේ.