Friday, December 25, 2009

ජනරාල්ට විරෝධයක්


අද හරිම මහන්සි දවසක්. සුනාමි සංවත්සර දිනය හෙටට යෙදී තිබෙන නිසා පත්තරේට ඒකට අදාලව ලිපි කිහිපයක්ම ලිව්වා. ගාල්ල සුනාමියෙන් විනාශ වුනේ අපේ ඇස් පනා පිටම. ඒත් අපේ දේශපාලකයන්ට සුනාමියට වැනසීගියපු ගාල්ල නගරය හදාගන්න තාමත් බැරිවුනා. ලිපිය ලියනකොට තමයි මේ ගැන ඇත්තටම දුක හිතුනේ. මොනව කරන්නද ?
මහ දවාලේ තවත් වැඩක් තිබුණා. ගාල්ල කරාපිටිය රෝහල ඉදිරිපිට විරෝධතාවක්. ප්‍රදේශයේ දේශපාලන බලවතෙක් මෙය සංවිධානය කළේ. හේතුව ජනරාල් සරත් පොන්සේකා කළායැයි කියන ප්‍රකාශය. ජනරාල් එවැනි ප්‍රකාශයක් නොකළ බව කියාසිටියා. තමන් ජනරාල්ගේ ප්‍රකාශය පුවත් පතේ සටහන් කළේ වැරදීමකින් බවත් එය කරැණු තෝරාබේරා ගැනීමකින් තොරව සිදුවූවක් බවත් සන්ඩේ ලීඩර් පුවත් පත පසුව තම මුල්පිටුවේම සටහන් කර තිබුණා. නමුත් ආණ්ඩුව දැන් ඒක කියන්නේ නැහැ. වෙනදා රජය කැලෑ පත්තරයක් යැයි කියපු සන්ඩේ ලිඩර් පත්තරේ තිබුණු කතාවක් උපුටා ගනිමින් තමන්ගේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යනවා යස අපූරුවට.
ඒත් අපිට ආරංචි විදියටනම් ඒ පත්තරේ නිවැරදි කිරීම ජාත්‍යන්තරයට පෙන්වා දීල තියෙන්නේ මේ ආණ්ඩුවමයි. රටේ මිනිස්සුන්ට කියන්නේ වෙන කතාවක්. මේක තනිකර දේශපාලන බංකොලොත්බව කියලයි මට හිතෙන්නේ.
රෝහලක් ලග වාහනයක නලාව නාදකිරීමත් තහනම් නමුත් මේ අය ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන උද්ඝෝෂණය කළා. සංවිධානය කරපු අයනම් කිව්වේ දහසක් විතර මේකට ඇවිත් හිටියා කියලා. නමුත් මම සියළුම දෙනාව ගණන් කළා. පැමිණ සිටියේ හරියටම 186 යි. එයින් 20 ක් විතර සංවිධායකයෝ. තවත් 15ක් විතර ප්‍රාදේශීය දේශපලාකයෝ. ඉතින් හිතාගන්න පුළුවන්නේ.
මේක මහ විහිළුවක්
මගේ ඡන්දය දෙන්නේ කාටද කියලා නැවත නැවතත් සිතා බැලිය යුතුයැයි මම තීරණය කළා.

Wednesday, December 9, 2009

යුද්දෙට ගිය සෙබළා

මට හදිසියේම වැලි ඔය යන්න අවස්ථාවක් ලැබුණා. මම හිතුවෙ මේ ගමන අවසර ඇතිව යන ගමනක් කියලා. නමුත් අපිට නිසි අවසරයක් තිබුණෙ නැහැ. ඒ නිසා ගියපු වැඩේ අතරමග දාලා නැවත ආපසු එන්න සිද්ද වුනා. මේ එද්දී අපූරැ සෙබළෙක් හමුවුණා.
මම ඔහු ගැන සටහනක් තැබිය යුතුමයි. ඔහු ශ්‍රී ලංකා හමුදාවේ එක් සෙබළෙක් පමණක් වුවත් යුද්ධයට මුහුණ දීපු සමස්ථ සෙබළුන්ගේ කථාන්තරයෙන් කොටසක් ඔහු මා සමග කියා සිටියා.
මට ඔහු හමුවන විට ඔහු සිටියේ ඉතාමත්ම සතුටින්. මාත් එක්ක ඔහු කථාවට වැටුණා. මම ඇහුවා ගම් පළාත කොහේද කියලා. අනුරාධපුරයේ දුෂ්කර ගම්මානයක්. නමුත් තවත් දවස් පහකින් ඔහුගේ පදිංචිය වැලි ඔයලු. මම ඇහුවා ඇයි කියලා. ඔහු කියපු කථාවට මට ඇඩුණේ නැහැ. ඒත් ඒක අඩන්න හිතෙන කථාවක්.
මම ඔහුගේම වචන වලින් කියන්නම්.
මම දැන් හමුදාවට බැදිලා අවුරැදු අටක් වෙනවා. මේ අවුරැදු අටෙන් වැඩිම කාලයක් හිටියේ යුද බිමේ. මම යාළු වෙලා කසාද බැන්දා. වතාවක් මම තුවාල වුනා. මට වෙඩි වැදෙන කොට මගේ නෝනට ළමයෙක් ලැබෙන්න හිටියා. එයා ගොඩක් බය වුනා. මට සිහිය එන කොට එයා මගේ ලග හිටියා. ඒත් එයාගේ හිතට ආපු බය නිසාම එයා ලෙඩෙක් වෙලා. සැරින් සැරේට බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. අන්තිමේද මගේ පුතා මන්ද මානසික ලමයෙක් වුනා. දොස්තරලා කිහිපදෙනෙකුටම පෙන්නුවා. හැමෝම කිව්වේ නෝනා ගොඩක් බය වෙච්ච නිසා එහෙම වෙන්න ඇති කියලා.
මම ආපහු යුද්දෙට ගියා. ඒ ළමය ලොකු වෙද්දී අපිට දෙවැනි දරැවා ලැබුණා. එයා හොදින් ඉන්නවා. ඒත් නෝනා යුද්දෙට හරිම බයයි. එයා නිතර නිතර ලෙඩ වෙන්න ගත්තා. දැන් දොස්තරල කියනවා එයාට සැරින් සැරේට පිස්සු හැදෙනවා කියලා.
මම මාස ගාණක් යුද්ධ කරද්දී එයා දරැ‍වො දෙන්නා එක්ක ගෙදර තනියම. දැන් යුද්දෙ ඉවර නිසා මම මේ පැත්තේ පොඩි ගෙයක් කුලියට ගත්තා. දැන් මට මගේ නෝනයි දරැවො දෙන්නයි මෙහේ එක්කගෙන එන්න පුළුවන්.
මට මුළින්ම වෙඩි වැදුණු වෙලාවේ මම හමුදාවෙන් ඉල්ලුවා මට ගෙවල් පැත්තට මාරැවක් දෙන්න කියලා. ඊට පස්සේ නෝනා ලෙඩ වුනාම මාරැවක් ඉල්ලුවා. ඒත් ඒ කිසිම ඉල්ලීමක් පලක් වුනේ නැහැ. මේක අපි ලබා උපන් හැටි වෙන්න ඇති.
අපි දුප්පත් කම නිසා හමුදාවට ආවේ. ඒත් යුද්දෙ කරන කොටනම් රට වෙනුවෙන් මැරෙන්න වුනත් සූදානමින් හිටියේ. අන්තිමේදී අපිට ඉතිරිවෙන්නේ දුක විතරයි.

මම මේ ගැන මගේ අදහස් කිසිවක් නොකියමි. අදහස් ප්‍රකාශ කිරීම ඔබට භාරයි.

Saturday, October 3, 2009

මැතිවරණ නිරීක්ෂකයන්ගේ මහා බොරැව


මැතිවරණ සමයේ ඡන්ද නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අපි දැඩි සේ විරෝධතාව ප්‍රකාශ කරන්නෙමු. මේ සදහා පසුගියදා එක්තරා ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේ කොළඹදීය. එහි ගිය මාධ්‍යවේදීන්ට මෙහි දැක්වෙන ඡායාරෑපය ද ලැබුණි. එම ඡායාරූපය පෙන්වමින් එම සංවිධානයේ ලොක්කෙක් කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වරයා සහ සහකාර මැතිවරණ කොමසාරිස් වරයා තමන්ගේ කාර්යාලය ඉදිරිපිට වැටෙහි අපේක්ෂකයන්ගේ ඡායාරූප එල්ලාගෙන මැතිවරණ කටයුතු කරන බවයි. මෙය දැඩි චෝදනාවකි. එසේ කරනවානම් ඔවුන්ට නිසි දඩුවම් දිය යුතුය. ඒ නිසා මෙය කොළඹ දී සාකච්ඡාවට සහභාගිවූ මාධ්‍යවේදීනට අපූරු පුවතක් විය.
මම ගාල්ලේ උපන්නෙමි. ජීවත් වන්නේද ගාල්ලේය. මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන බැවින් දිනපතා ගාල්ල නගරයට පැමිණෙන අතර බොහෝ අවස්ථා වලදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලට අසළින් ගමන් කරන්නෙමි. මම දිනපතාම මේ ගොඩනැගිල්ල දකින්නෙක්මි.
මේ ඡායාරූපය බැලූ බැල්මට පෙනෙන්නේ අර මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ ලොක්කා කී කතාව සත්‍යයක් බවයි. නමුත් හොදින් බලන්න. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඡායාරූපයක් ඇත. එහි බිත්තියේ වර්ණය රෝස පැහැයෙන් පෙනේ. ඒ ඉදිරිපිට වැටක් ද තිබේ. ඒ වැටෙහි ඇති කණු කළු ගලින් නිර්මිතයි නේද ?
දෙවැනි ඡායාරූපය බලන්න. හොදින් බලන්න එහි ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙන් වැටක් තිබේ. නමුත් පසුපසින් පෙනෙන ගොඩනැගිල්ලේ කොටස සුදු පැහැතියි නේද ? දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඇති රෝස පාට බිත්තිය මෙහි සුදු පැහැය ගත්තේ කෙසේද ?
දෙවැනි ගැටළුවනම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැටෙහි තැන තැන ඇති තාප්ප කොටස කළු ගලින් නිර්මාණය වී තිබීමයි. නමුත් පුවරැව සහිත ස්ථානයේ වැටෙහි ඇති කණු කහ පැහැති තීන්ත ආලේප කර ඇත. කළු ගලින් නිර්මාණය කළ තාප්පය කහ පැහැති වූයේ කෙසේද ?
මෙයට පිළිතුරු ඔබට නැතුවා විය හැකියි. නමුත් එයට පිළිතුර මා සතුව තිබේ.
ගාල්ල ගැන නොදන්නා අයට මෙය අරුමයක් වුවද අපට එය අරුමයක් නොවේ. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගොඩනැගිල්ල පෙන්නා මේ මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වන පුවරුවේ ඡායාරූපය ගෙන ඇත්තේ ගාල්ල ජාත්‍යන්ත ක්‍රික‍ට් ක්‍රීඩාංගණයේ ක්‍රීඩාගාරය ඉදිරිපිටදීය. මේ එතැන සවිකර තිබූ මැතිවරණ ප්‍රචාරක පුවරැවකි.
නමුත් මේ ඊනියා මැතිවරණ නිරීක්ෂකයෝ මාධ්‍යවේදීන් ද නොමග යවමින් පවසන කරුණු කොතරම් බරපතලද ? මොවුන් ට දිය යුතු දඩුවම කුමක් ද ?
නමුත් එකක් නම් කිව යුතුව ඇත. දකුණේ ඡන්දය එකම පක්ෂයේ අය පවා මරා ගන්නා අන්ත දූෂිත මැතිවරණයක් බවට පත්ව තිබේ.......................................

Wednesday, August 12, 2009

දෙවැනි බුදුන් අමතක කර වැනසීම


අපි හැමෝම අපේ රටට දෙවැනි බුදුන් හැටියට සලකන්නේ මිහිදු හිමියන්. මිහිදු හිමියන් වැඩ වාසය කරපු තැන් අදත් අපේ අය වන්දනාමාන කරන්නේ මහත් භක්තියකින්. ඒ අතරින් මිහින්තලය පූජා භූමිය ප්‍රධාන වෙනවා. මිහින්තලේ මිහිදු ගුහාව කියන්නේ මිහිදු හිමියන් මෙරටට වැඩම කරලා වැඩ වාසය කරපු ගල්ලෙනක්. එය ඉතාමත්ම කුඩා ස්ථායනයක් වුනත් අපූරු සුන්දර තැනක්. එතැන ගලේම ‍සකස් කරපු සයනයක් තිබෙනවා. එය අවුරැදු දහස් ගණනක් පැවැතියා. නමුත් පසුගිය දිනක එතැනට ගියපු නිදන් හොරු මේ ගල් සයනයේ වටේට තිබුණු ගෝලාකාර කැටයම බිද දමලා නිදන් සොයලා. මේක දැනගත්තාම විශාල දුකක් ඇතිවුනා.
මේ ඡායාරෑපයේ තියෙන්නේ ඒ විනාශ කරපු ගල් සයනයේ අදාල ගෝලාකාර කැටයම් හතරෙන් එකක්. මේක ගත්තේ පසුගිය ඇසළ පුන් පොහෝ දිනයේදී.

Tuesday, August 11, 2009

අපේ භූමියේ නියම උරැමක්කාර‍යෝ (වැද්දෝ)




විදෙස් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරු කණ්ඩායමක් වරක් මෙරටට පැමිණ විශේෂ පරීක්ෂණයක් කළා. ඒ මෙරටින් හමුවන ප්‍රාග් ඓතිහාසික මානවයා සහ නූතන සිංහල ජනතාව අතර පරිනාමික බන්ධුතාව සොයා ගැනීම. ඒ වගේම ඔවුන් දෙමළ ජනතාවත්, මුසිල්ම් ජනතාවත් මේ පැරණි මානවයාට සමානදැයි සොයා බැලුවා. අවසාන ප්‍රතිඵලය වුනේ අපි කිසිවකුත් මෙරට සිටි ප්‍රාග් ඓතිහාසික මානවයා සමග පරිනාමිකව සම්බන්ධ නැති බව අනාවරණය වීමයි. නමුත් වර්තමාන වැදි ජනතාව අතීත මානවයා සමග විශාල නෑදෑකමක් තිබෙන බව තහවුරු වුනා. එහෙනම් අද නොදියුණු එහෙමත් නැත්නම් ගෝත්‍රික කියල හදුන්වන මේ ජනකොටස අපේ ශ්‍රී ලංකාවේ නියම උරුමක්කරුවන්.
‍මම මේක සිහිපත් කළේ පසුගිය 09 වැනිදා ලෝක ආදිවාසී දිනය යෙදී තිබුණු නිසා. නමුත් රජයවත් වෙනත් වගකිවයුතු අයකුවත් එදා මොවුන් ගැන අවධානය යොමු කළේ නැහැ. අද වැදි ජනතාවට තමන්ගේ පාරම්පරික දඩබිම් අහිමිවෙලා. දුනු හී තළ වෙනුවට උදැල්ල පුරුදු කරපු වැද්දෝ දැන් නූතන සමාජයේ නන්නත්තාර වෙලා. වැදි ජනතාව බලන්නට එන දහස් ගණනක් සංචාරකයන් නිසාත් ඔවුන්ගේ සාමාන්‍ය දිවි පෙවතට බාධා එල්ල වෙලා. වෙනද නටපු කිරි කොරහ අද වන විට ප්‍රසංග වේදිකාවට ගෙනියන්න වැද්දෝ කටයුතු කරලා. ඒක සංස්කෘතිකයම වශයේ ගැටලුවක් ද කියලා මම දන්නේ නැහැ.
ඒත් අපි දැකපු දෙයක් ගැන සටහන් නොකර බැහැ. වැදි ගම්මානයට ගියහම දකින්න තිබෙනවා. වැදි කාන්තාවන් විවිධ නිශ්පාදන කරන ආකාරය. ඔවුන් මල් බදුන් සකස් කරනවා. මී පැණි විකුණනවා. දුනු හී තල පවා විකුණන්න තිබෙනවා. මේ සදහා යම් අතහිත දීමක් සිදුවුවහොත් වැදි ජනතාවට යම් කිසි ආකාරයකින් තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න හැකිවේවි කියලානම් හිතෙනවා.
ඒත් වැදි ගම්මානයක කරපු සංචාරයේදී අහන්න ලැබුණු දෙයක් තමයි. අක්ෂර මාලාවක් නැති ඉතා සරල ඒ වගේම ඔවුන්ටම පමණක් ආවේණික භාෂාව වැදි දරුවන්ට පාසලේදී ඉගෙන ගන්න නොලැබෙන බව. ඒ නිසාම හැමදාමත් වැද්දන්යැයි හංවඩු ගැසෙන මේ දරුවෝ ටික දිනකින් පාසල් ජීවිතයට ආයුබෝවන් කියනවා.
මම කියන්නේ නැහැ වැද්දෝ හැමදාමත් වැද්දෝ විදියට ඉන්න ඕන කියලා. ඒත් වැද්දන් සතුව තියෙන පාරම්පරික දැනුම. ගතිසිරිත් සංස්කෘතික ලක්ෂණයන් සියල්ල අනාගත පරපුර වෙනුවෙන් හෝ ඉතිරි කරගන්න අපේ පාලකයෝ කටයුතු කළ යුතුයි. මේ සදහා විධිමත් වැඩ පිළිවෙලක් අවශ්‍යයි. එහෙම වුනොත් අපේ රටේ පාරම්පරික උරැම කරැවන්ගේ උරුමය ආරක්ෂා වේවි. නැත්නම් ඒ ටික දෙනක් අපිත් එක්කම විනාශ වෙලා යාවි.

Wednesday, March 18, 2009

පිරමීඩ ජාවාරම

මේ ලගදි දවසක් මට යාළුවෙක් පොඩි වැඩකට කථා කලා. එයාගේ අක්කගේ යාළුවෝ වගයක් පුංචි ව්‍යාපාරයක් ගැන කතා කරන්න එනවලු මටත් වාසියක් වේවි කියලා එන්න කිව්වා. ඉතින් මමත් ගියා. යනකොටත් මට මේ ගැන ලොකු සැකයක් තිබුණා.
මේ අය ඇවිත් තිබුණේ සුඛෝපභෝගී වාහනයකින්.
ඉතින් එයාලා අපිට පැය තුනක දේශනයක් කළා. ඒ දේශනයේදී භාණ්ඩ අළෙවි කිරීම සදහා ප්‍රචාරක කටයුතු වලට වියදම් කරන හැටි කියා දුන්නා. මේ අය මුලුමනින්ම දේශීය ආයතනයක් කියලත් කිව්වා. පටන් අරගෙන වසරක් යද්දී බිලියන ගානක භාණ්ඩාගාර බිල්පත් ලබාගත් බවත් කිව්වා. අපි අහගෙන හිටියා. ඊට පස්සේ කියනවා එයාලගේ භාණ්ඩ මිලදී ගෙන කෝටිපතියෙක් වෙන්න පුළුවන් කියලා. හැම සතියකම රැපියල් 50000 ක් බැගින් අපේ ගිනුමකට බැර කරනවාලු. පුදුම රසවත් කතාවක්.
අපි එයාලගෙන් 0.5 ක අගයක් ඇති භාණ්ඩයක් මිලදී ගත යුතුයි. ඒ භාණ්ඩයේ සාමාන්‍ය වටිනාකම රැපියල් 50,000 ක් වෙනවා. ඊට පස්සේ අපි අපේ හිතවත්ම මිතුරන් දෙදෙනෙක් මේ සමග සම්බන්ධ කළ යුතුයි. ඒ අයත් අර භාණ්ඩ දෙකක් මිලදී ගත්තොත් අපේ ගිනුමට රැපියල් 5000 ක් බැර වෙනවා. ඔය විදියට යාළුවන් යාළුවන් එකතු කිරීමෙන් තවත් අපූරැ පිරමීඩ ක්‍රමයක් නිර්මාණය වෙනවා. මේකට එකතු වෙන්න මාත් එක්ක හිටපු කිහිප දෙනෙක්ම තීරණයක කළා. මගේ යාළුවාගේ අක්කත් ඒකට දැනටමත් එකතුවෙලා තියෙනවා. ඉතින් මම මෙයාලගෙන් හරස් ප්‍රශ්න අහනකොට මේ අය මට අභියෝග කළා මේක පිරමීඩ ජාවාරමක් නෙවෙයි කියලා. තව සති කිහිපයයි. මම ඔප්පු කර පෙන්වනවා මේක පිරමීඩ ජාවාරමක් තමයි කියලා. ඒ වගේම සමාගම් මැදුරේ ලියාපදිංචි කරල තිබුණත් මේක ලෝකය පුරා ව්‍යාප්ත වුණු ජාවාරමක් බව මට හොයාගන්න පුළුවන් වුනා.
දැන් මම ගේමට බැහැලා ඉන්නේ. ඔබ දන්න මේ ව‍ගේ තොරතුරැ මට අවශ්‍යයි.
කරැණාකර ඒ පිළිබද දැනුම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

Tuesday, March 17, 2009

කාලෙකට පස්සෙ................. ලංකාවේ හිටපු රජවරැ

ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තවත් බලන්න බැරි වෙලා හිටියේ.
වැඩ වැඩි නිසාම ඉතින් මේ වැඩේ මග ඇරිල ගියා.
අද පටන් ගත්තෙ මොනව හරි ලියන් ඕන කියල......... ඒත් ලියන් දෙයක් හිතා ගන්න බැහැ. ...............
....................................................................................
ඒත් මෙන්න මේක ලියන්න ඕන කියල හිතුන
‍අපි අපේ රටේ රජවරැ ගැන හිතාගෙන හිටියෙ කොයිතරම් වැරදි විදියටද කියල මේ අනුව පෙනෙන නිසා මට හිතුනා මේ ගැන සටහනක් තැබිය යුතුයි කියලා.
අපි හිතාගෙන හිටියේ ලංකාව පාලනය කළේ මහා ඒකාධිපති පාලකයෙක් කියලා........
නමුත් තත්වය ඊට වඩා බොහෝ සෙයින් වෙනස් බව මේ අනුව පැහැදිලි වෙනවා.

මහනුවර රජකරපු නරේන්ද්‍රසිංහ රජු වරක් විසූවේ පනික්කියා නම් බෙරගසන මිනිසකුට කබායක් පිරිනමා තිබෙනවා.
මෙය සම්ප්‍රදාය විරෝධීලු මෙය දුටු රම්මොලක මහ නිලමේ එම කබාය බෙරකරැ හැද සිටියදීම ඉරා දමා ඔහු සිරගත කළේලු.
අවසානයේ රජු කරපු මේ ක්‍රියාව ගැන තීරණයක් ගත් අදිකාරම ඇතුළු සෙසු ප්‍රධානීහු රජු වරදක් කළ බව තීරණය කර තිබෙනවා. අවසානයේ ඔවුන්ගේ තීරණය වී ඇත්තේ රජු ඒ සදහා දඩුවම් විදිය යුතු බවයි. ඒ අනුව රජුට දඩයක් නියම කර තිබෙවනා. එම දඩය රජු විසින් මහ දේවාලයට ගෙවිය යුතුයැයි තීරණය වූ පසු රජු විසින් එය ගෙවා දමා තිබෙනවා.

අපි හිතාගෙන හිටියේ.............. ලංකාවේ රජවරැ ගැන අපිට මවා තිබූ ප්‍රතිරෑපයේ දැක්වුණේ මෙවැනි රජවුරැ නොවෙයි ‍නේද ? අපි හිතාගෙන හිටියේ අන්තනෝමතික වැඩකරන ඒකාධිපති රජවරැ ලංකාව පාලනය කළ බවක් නේද ?

සංවාදයට විවෘතයි. ............................