මම කරාපිටිය රෝහල ගැන ඊයේත් සටහනක් තැබුවා. මේ එහි තවත් පැතිකඩක්. පුද්ගලයෙක් මියගියහම අපේ රටේ හදුන්වන්නේ අවමංගල්‍යය කියලා. මරණයත් මංගල්‍යයක් සේ උත්සවාකාරයෙන්, අති ගෞරවනීය ලෙස සළකන්න අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියා. සුද්දා අපිට හදුන්වා දීපු නීතිය අනුවත් මැරුණු පුද්ගලයකුට ගෞරවනීය තත්ත්වයක් ලැබිය යුතුයි.
කරාපිටිය රෝහලේ කෙනෙක් මියගිය විට ඔහු හෝ ඇය ගේ සිරුර මෘත ශරීරාගාරයට ගෙනගොස් දමනවා. මේ මෘත ශරීරාගාරයේ මළ සිරුරු 24 ක් තැන්පත් කළ හැකි ආකාරයට අධිශීතකරණ හතරක් තිබෙනවා. මේ එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක හතරක් විය යුතුයි.
නමුත් දැනට කාලෙකට ඉස්සෙල්ලා මේ එකක් අක්‍රිය වුනා. ඒක හැදුවේ නැහැ. දෙවැනි එකත් අක්‍රියයි. ඒකත් හැදුවේ නැහැ. ඒ දෙකේම දැමිය යුතු මළ සිරුරු එකපිට එක තියලා අනෙක් දෙකට දැම්මා. දැන් මේවා වෙනදාට වඩා අමාරුවෙන් වැඩකරන්න වෙනවා. ඉතින් තවත් එකක් කැඩුණා. කරාපිටිය රෝහලේ පාලන අධිකාරියේ ප්‍රධානියා වන අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියානි සේනාධීර මහත්මියට මේ ගැන කියා තිබුණත් පලක් වුණේ නැහැ. ටික දවසකින් අධි ශීතකරණ හතරම කැඩිලා. මළ සිරුරු 18ක් තිබියදී. දැන් ඒ එක අධිශීතකරණයක උෂ්ණත්වය අංශක 40 ක්. මළ සිරුරු පණුවෝ හැදිලා. කරාපිටියේ මෝචරිය එහෙමත් නැත්නම් මෘත ශරීරාගාරය පැත්තේ කාටවත්ම යන්න හැකියාවක් නැහැ. පළාතම ගද ගහනවා. ඒ විතරක් නෙවෙයි අර මළ සිරුරු කුණු වෙනවා. පණුවෝ මෘත ශරීරාගාරයේ බිම විතරක් නෙවෙයි බිත්ති දිගේත් දුවනවා. ඒක තනිකරම අපායක්.
මේක දැනගත්තු ගමන්ම මම ගියා. ගිහින් ඒ සියල්ල ඡායාරූප ගත්තා. වීඩියෝ කළා. වීඩියෝ පටය සිරසටත්, ඡායාරූප ලංකාදීපයටත් යැව්වා.
පුවතක් සමබර වෙන්න ඕන නිසා මම අධ්‍යක්ෂතුමියගෙන් විමසුවා. ඇය වැඩ ගොඩක් තියෙනවා කියලා මග ඇරලා සේවකයන්ට බැන වැදිලා අන්න සිරසෙන් ඇවිත් වීඩියෝ කරලා පුළුවන් තරම් ඉක්මනට සුද්ද කරන්න කියලා. පසුවදා සුද්ද කරන්න පටන් ගත්තා. එදා එතුමියට මම දුරකථන ඇමතුමක් දුන්නම කිව්වා සතියකට ඉස්සෙල්ලා කැඩිල තිබුණා. පණුවොනම් හිටියේ නැහැ. ඒත් දැන් ඒක හදලා කියලා. අපි මේ සිදුවීම සිරස ටී.වී. ඔස්සේ ප්‍රචාරය කළා. රෑ ඒ පුවත දැකපු අධ්‍යක්ෂතුමිය පසුවදා උදේ පාන්දරින්ම ඇවිත් වේලාසනින්ම රතු ඉර ගහලා තියෙනවා. ඒ අපිට තොරතුරු දෙන සේවකයන්ගෙන් පළිගන්නලු. කමක් නෑ කොහොම හරි මෝචරිය සුද්ද කළානේ. ඒත් මේ පාලනය කරාපිටිය රෝහලට ගැලපෙනවාද කියන එකනම් ලොකු ප්‍රශ්නයක්
මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ මෝචරිය, එහි ශීතකරණ, ඒවා ඇතලේ පණුවන් හැදී තිබෙන නරක්වූ මළ සිරුරු සහ පණුවන් බිම පවා සිටින ආකාරය. ඒ වගේම අපේ සහෘදයන්ගේ ඉල්ලීම නිසා ඔන්න මම කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂිකා ප්‍රියානි සේනාධීර මහත්මියගෙත් ඡායාරූපයක් මෙහි පලකරනවා. ඒ රෝහලේ පැවැති පිරිත් පිංකමක් වෙලාවක ගත්තු ඡායාරූපයක්
අනේ අපොයි.මුන්ට දෙන්න ඕන රජ කාලෙ දඩුවම්
ReplyDeleteකලබල වෙන්න එපා. අධ්‍යක්ෂක වරිය හා අමනාපයක් ඇති මාධ්‍ය වේදියෙකුගෙ සටහනක් මේක. මුර්ත ශරීරයක් නරක් වෙන කොට පනුවො ගහන එක නවත්වන්නෙ කොහොමද? පේනව නේද මාධ්‍ය වේදීන් කරුණු "කරකවන" හැටි?
ReplyDeleteප්‍රියානි ගැන මම බලාගන්නම්.. දිගටම ලියන්න. පුතා. පින්තූරත් එක්කම පල කරන්න. වැරදිකාරයෝ කවුරුන්වත් හංගන්න එපා.
ReplyDeleteගාල්ලට විතරක් නෙමෙයි. මුලු දකුනු පලාතටම තියෙන ලොකුම රෝහල. කොච්චර දුර ඉදල එනවද දුප්පත් අහින්සක මිනිස්සු. මේ වට නම් ඉතින් හෙන ගහන්න ඔනි.
ReplyDeleteකරාපිටිය රොහලේ ගොඩාක් අකටයුතුකම් වෙනව කියල ආරන්චියි
මේ බ්ලොග් එක පුදුමයකට වගේ මට ඇහැ ගැටුනෙ අද.සිත්ගන්නා සුලු බ්ලොග් එකක්.විශේෂයෙන් මෙහි ආකෘතිය වෙනස්.මේ ලිපියත්,ෆොන්සේකා වෙනුවෙන් තිබුන රැලියට පොලිසිය පහරදීම ගැන තිබුන ලිපියත් ගවේෂනාත්මක බ්ලොග් කලාවක් ගැන ඉගියක් දෙනවා.දිගටම ලියන්න.සුබ පැතුම්!
ReplyDeleteමරණයත් මංගල්‍යයක් සේ උත්සවාකාරයෙන්, අති ගෞරවනීය ලෙස සළකන්න අපේ මිනිස්සු පුරුදු වෙලා හිටියා. සුද්දා අපිට හදුන්වා දීපු නීතිය අනුවත් මැරුණු පුද්ගලයකුට ගෞරවනීය තත්ත්වයක් ලැබිය යුතුයි.
ReplyDeleteමේ කාරණාව ගැන නම් මගේ එතරම් තැකීමක් නෑ. මැරුණට පස්සෙ කරන සැලකිලි වලින් ඇති වැඩක් තියෙනවයැ.
මට නම් ගැටළුව තියෙන්නේ කරාපිටිය රෝහලේ මේ අවුල නිසා සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව ඇති විය හැකි තත්ත්වයන් ගැන.